අපරාජිත ශ්‍රී ලංකාව කුසලානයත් සමග සුදුසුකම පෙන්වයි

483

එක් වතාවක් එක් දින ලෝක ක්‍රිකට් කුසලානය දිනූ සහ තවත් අවස්ථාවන් දෙකකදී එම අනුශූරතාවයට හිමිකම් කියූ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව යළි එම තරගාවලියේ තරග වැදීම සඳහා තමන්ට ඇති උපරිම සුදුසුකම පෙන්වමින් සිම්බාබ්වේ හි පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරයන් බවට ඊයේ (09 වැනිදා) පත් වූයේය.

එම කුසලානය අපරාජිතව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා 2 ලෙසින් තරග වැදීමට නියමිතය. නෙදර්ලන්තය සමග ඊයේ පැවති අවසන් මහා තරගය ලකුණු 128 කින් පහසුවෙන් ජය ගනිමින් ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීමේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 233 කට සීමා වූ අතර එම ඉලක්කය හඹා ගිය ප්‍රතිවාදීන් ලකුණු 105 කට සීමා කරමින් ජයග්‍රහණය ගෙන දීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

එම තරගයෙන් පරාජය වුවද ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට නෙදර්ලන්තයට හැකි විණි. කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා පන්දු වාර 47.5 ක් අවසානයේ ලකුණු 233කට දැවී ගිය අතර නෙදර්ලන්තය සුපිරි 6 වටය යටතේ පැවති තරගයේ දී ද ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 47.4 කදී ලකුණු 213 කට අවසන් කිරීමට සමත් වී තිබුණි.

ඊයේ තරගයේ ශ්‍රී ලංකා ඉලක්කය හඹාගිය නෙදර්ලන්ත ඉනිමේ මුල් පන්දු වාර 10 අවසන් වන විට ඔවුන්ගේ පිතිකරුවන්ගෙන් හරි අඩක් නැවත ක්‍රීඩාගාරය දෙසට හරවා යැවීමට ඩිල්ශාන් මධුසංඛ සහ වනිඳු හසරංග දෙදෙනා ක්‍රියා කළහ.

ඒ වන විට නෙදර්ලන්තය රැස් කර ගෙන තිබුණේ කඩුලු 5ක් දැවී ලකුණු 41 ක් පමණක් වූ අතර ඉතිරි පන්දු වාර 40 තුළදී තවත් ලකුණු 193 ක් රැස් කර ගැනීම සඳහා ඔවුන්ට ඉතිරිව තිබුණේ ද කඩුලු 5 ක් පමණි.අනතුරුව ක්‍රියාත්මක වූ මහීෂ් තීක්ෂණ නෙදර්ලන්ත ඉනිම පන්දු වාර 25 කින් මෙපිට දී අවසන් කිරීමට ඩිල්ශාන් ට සහ වනිඳු ට දායකත්වය දුන්නේය.

මහීෂ් තීක්ෂණ තරගයේ වැඩිම කඩුලු ලාභියා වූ අතර ඔහු ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත්තේය. ඩිල්ශාන් මධුසංඛ ලකුණු 18 කට කඩුලු 3 ක් ද, වනිඳු හසරංග ලකුණු 35 කට කඩුලු 2 ක් ද දවා ගත්තේය. මෙම තරගාවලිය තුළදී ශ්‍රී ලංකාව තරග 8 කට ක්‍රීඩා කර ඒ සෑම තරගයක්ම අපරාජිතව අවසන් කිරීමට සමත් වූ අතර එම තරග 8 අතරෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 200 කඩඉම ඉක්මවා ගියේ බටහිර ඉන්දීය කොදෙව්වන් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සඳහා පසුගිය තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමට වඩා වෙනස්කම් දෙකක් සමගින් ක්‍රීඩා කළ අතර ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවා තිබුණු අතර දුෂාන් හේමන්ත වෙනුවට වනිඳු හසරංග කැඳවා තිබුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට තම දෙවැනි තරගය සඳහා ක්‍රීඩා කළ සහන් ආරච්චිගේ සමත් වූයේය.

ඔහු ලකුණු 57 ක් ලබමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි සධීර සමරවික්‍රම ලකුණු 19 කටත්, පැතුම් නිස්සංක ලකුණු 23 කටත් දැවී ගියේය. සහන්ට පසුව ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 43 ක් ලැබූ කුසල් මෙන්ඩිස් ය. චරිත් අසලංක ලකුණු 36 කට දුවද්දී දැවී ගියේය.

ශ්‍රී ලංකාව එක් අවස්ථාවකදී කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් ලෙස ප්‍රබල ස්ථානයක පසු වූවද අවසන් කඩුලු 7 ලකුණු 53 ක් තුළ බිඳ වැටුණි. එම ලකුණු 53 න් ද 29 ක් වනිඳු හසරංග ගේ පිත්තෙන් වාර්තා විය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 233/10 (47.5)

සහන් ආරච්චිගේ 57, කුසල් මෙන්ඩිස් 43, චරිත් අසලංක 36, පැතුම් නිශ්ශංක 23, වනිඳු හසරංග 29, සධීර සමරවික්‍රම 19.

පන්දු යැවීම

ලෝගන් වෑන් බීක් 40/2, රයාන් ක්ලෙයින් 42/2, වික්‍රමජිත් සිංග් 12/2, ශුල්ෆිකාර් 59/2

නෙදර්ලන්තය 105/10 (23.3)

මැක්ස් ඕ ඩවුඩ් 33, ලෝගන් වෑන් බීක් නොදැවී 20, වික්‍රමජිත් සිං 13

පන්දු යැවීම

ඩිල්ශාන් මධුසංඛ 18/3, වනිඳු හසරංග 35/2, මහීෂ් තීක්ෂණ 31/4

advertistmentadvertistment
advertistmentadvertistment