සුදුසුකම් ලැබීමේ කඩඉම උඩින්ම පැන්න ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට

715

එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (02 වැනිදා ) සමත් වූයේය.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හය වටය යටතේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඊයේ පැවති තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් තම අපරාජිත භාවය ආරක්ෂා කරගත් ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ප්‍රධාන තරගාවලියට ප්‍රවේශ වූ පළමු කණ්ඩායම බවට ද ඒ අනුව පත් විය.

ඊයේ තරගය වනතෙක් අපරාජිතව සිටි සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්කර එම ජයග්‍රහණය සමගින් 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයේ ස්ථානය ද තම නම ඉදිරියෙන් ලියා ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ.

සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 165 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 33.1 පන්දුවක් තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා නායකයාගේ තීරණයට සාධාරණයක් එක් කිරීමට සමත් වූ පන්දු යවන්නෝ තරගාවලිය තුළ වඩාත් ප්‍රබල පිතිකරණ ලැයිස්තුවකින් සමන්විත ව සිටි සත්කාරකයන්ගේ ඉනිම පන්දු වාර 32.2කදී ලකුණු 165කට සීමා කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 101 ක් ලබා ගත් අතර තරගයේ ජයග්‍රහණය සඳහා 1 ලකුණක් අවශ්‍යව තිබියදී ලකුණු 97 රැඳී සිටි පැතුම් හතරේ පහරක් එල්ල කරමින් තම ශතකය සම්පූර්ණ කර ගත්තේය.

පන්දු 102 දී වාර්තා වූ පැතුම් ගේ ශතකයට අලංකාර හතරේ පහර 14 ක් අන්තර්ගත විය.

පැතුම් සහ දිමුත් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැඟුණි.

දිමුත් ලකුණු 30 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 24 ක් ලබා ගත්තේය.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව විශිෂ්ටතම පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ මහීෂ් තීක්ෂණ ඔවුන්ගේ පිතිහරඹ ලැයිස්තුවේ අංක එකේ පිතිකරුවා බවට පත්ව තරගාවලියේ ලකුණු 500 ඉක්මවා සිටි ශෝන් විලියම්ස්ගේ කඩුල්ල තුළටම පන්දුව යවමින් තරගය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට දෙවැනි ආරම්භය ලබා ගත්තේය.

පළමු පන්දුවාර 7 අවසන් වන විට සිම්බාබ්වේ අංක 1, 2 සහ 3 පිතිකරුවන් සියලු දෙනාගේ කඩුලු 3 තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ සමත් වූ අතර එම කඩුලු 3 ට සිම්බාබ්වේ නායක ක්‍රේග් අර්වින් ගේ කඩුල්ල ද ඇතුළත් වූයේය.

එය තරගය ශ්‍රී ලංකාව දෙසට හරවා ගත් පළමු අවස්ථාව විය.

ලකුණු 165 කට සීමා වූ සිම්බාබ්වේ ලකුණු පුවරුවේ අනෙක් ඉහළම ලකුණු ලාභියා වූ සිකන්දර් රාසාගේ කඩුල්ල ලකුණු 31 කට දවා ගැනීමට නායක දසුන් ශානක සමත් වූයේය.

මහීෂ් තීක්ෂණ පන්දු වාර 8.2 කදී ලකුණු 25 කට කඩුලු 4 ක් දවා ගත්තේය. ඩිල්ශාන් මධුසංඛ පන්දු වාර 5 ක් පමණක් ක්‍රියාත්මක කරමින් සිය කඩුලු 3 දවා ගත් අතර මතීෂ පතිරණ ලකුණු 18 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

සුදුසුකම් ලැබීමේ කඩඉම උඩින්ම පැන්න ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට

සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 30 ක් තුළ බිඳ වැටුණු අතර සිකන්දර් රාසා හා ශෝන් විලියම්ස් සිව්වැනි කඩුල්ලට ලකුණු 68 (81) ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් වූහ.

ශෝන් විලියම්ස් පන්දු 57 කින් ලකුණු 56 ක් රැස් කළේය.

ලහිරු කුමාර වෙනුවට මතීෂ පතිරණ කණ්ඩායමට කැඳවූ අතර සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ද එක් වෙනස්කමක් සිදු කරමින් ටෙන්ඩයි චටාරා වෙනුවට බ්‍රැඩ් එවන්ස් කණ්ඩායමට කැඳවා තිබුණි.

ශ්‍රී ලංකාව සුපිරි 6 වටය යටතේ සහභාගි වන අවසන් තරගය ලබන 7 වෙනිදා බටහිර ඉන්දිය කොදෙව් දේශය සමග පැවැත්වේ.

ලකුණු සාරාංශය

සිම්බාබ්වේ 165/10 (32.2)
ශෝන් විලියම්ස් 56, සිකන්දර් රාසා 31
මහීෂ් තීක්ෂණ 25/4, ඩිල්ශාන් මධුසංඛ 15/3, මතීෂ පතිරණ 18/2

ශ්‍රී ලංකාව

පැතුම් නිශ්ශංක නොදැවී 101
දිමුත් කරුණාරත්න 30
කුසල් මෙන්ඩිස් නොදැවී 25

advertistmentadvertistment
advertistmentadvertistment