හොකී ලෝක කිරුළ ජර්මනියට

195

ඉන්දියාවේදී පෙරේදා (29වැනිදා) රාත්‍රියේ පවත්වන ලද ලෝක කුසලාන පිරිමි හොකී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ජර්මනිය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

2018 ලෝක කුසලාන ශූරතාව සහ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශූරතාව දිනා ගනිමින් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන ස්ථානයේ රැඳී සිටින බෙල්ජියමට එරෙහිව දඬුවම් පහර (08 seconds penalty Shoot Out) ආශ්‍රිතව ගෝල් 05 – 04 ක් ලෙස ජයග්‍රහණයේ මිහිරි රස පානය කිරීමට ජර්මානුවන්ට හැකි වූහ.

2002 සහ 2006 දෙවතාවේ ශූරතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ක්‍රියාත්මක වෙමින් වසර 17කට පසු මෙවර ලෝක කුසලානයට හිමිකම් කියන්නට ජර්මනිය සමත් විය.

මෙවර ජර්මනිය සහ බෙල්ජියම අතර පැවති තීරණාත්මක අවසාන මහා තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය තියුණු මුහුණුවරක් ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙපිල ලැබූ ගෝල් සංඛ්‍යාව 03 – 03 ක් ලෙස සටහන් විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර ජයග්‍රාහී පිල තෝරා ගැනීම සඳහා ඉකුත් වසරේ (2018) දී මෙන්ම දඬුවම් පහර උපයෝගී කර ගැනීමට ජාත්‍යන්තර හොකී සම්මේලනයට සිදු විය. රිදී පදක්කම් ලාභී බෙල්ජියම මෙවර තරග මාලාවේ විනීතම කණ්ඩායම ලෙස නම් කළ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජර්මනියේ නිකලස් වෙලන් සම්මාන ලැබීය.

බෙල්ජියමේ වින්සන්ට් වැනැෂ් තරග මාලාවේ දක්ෂතම ගෝල් රකින්නා ලෙස ද දකුණු අප්‍රිකාවේ මුස්තාපා කාසිම් දක්ෂතම යොවුන් ක්‍රීඩකයා ලෙස ද නම් කළ අතර ගෝල් 09 කට හිමිකම් කියන ඕස්ටේ්‍රලියාවේ ජෙරමි හේවාඩ් මෙවර තරගාවලියේ වැඩිම ගෝල් රැස් කරන්නා ලෙස තිළිණ ලැබීය.

පසුගිය වර ලෝකඩ පදක්කම් ලාභී ඕස්ටේ්‍රලියාව ගෝල් 03 – 01 ක් ලෙස පරාජයට පත් කරමින් මෙවර තරගාවලියේ ලෝකඩ පදක්කමට හිමිකම් කියන්නට ඉකුත් වර රිදී පදක්කම් ලාභී නෙදර්ලන්තයට හැකි විය.

තරඟ 44 කින් සමන්විත වූ මෙවර තරගාවලියේදී වාර්තා වූ ගෝල් සංඛ්‍යාව 249 කි. එම ගෝල් සංඛ්‍යාව රැස් කිරීමට එකතු වූ ක්‍රීඩකයින් සංඛ්‍යාව 116 දෙනකු වීමද විශේෂත්වයකි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment