තරගාවලි ජයග්‍රහණයට දායක වීමට හැකිවීම පිළිබඳව සතුටුයි – තරගාවලියේ වීරයා මැතිව්ස් කියයි

219

ඕනෑම තරගයකදී කණ්ඩායමට අවශ්‍ය උපරිම දායකත්වය ලබා දීමට තමා සූදානම් බව සිම්බාබ්වේට එරෙහිව පැවති පන්දු වාර 20-20 තරගාවලියේ වීරයා වූ ඇන්ජලෝ මැතිව්ස් අවසන් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

දෙවැනි තරගය පරාජය වී තිබියදී මෙම තරගය ජය ගැනීමට හැකිවීම මෙන්ම එමඟින් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවීම පිළිබඳව ගොඩක් සතුටට පත්වන බවත් ඔහු පැවසීය.

“ඇත්තටම දෙවෙනි තරගය පරාජය වුණේ මගේ අතින් වූ වරදක් නිසයි. ඒ තත්ත්වය මට පාලනය කරගන්නට නොහැකි වුණා. ඒ නිසා මේ තරගය ජයගෙන තරගාවලියත් ජයගන්න හැකිවීම ලොකු සතුටක්. ලෝක කුසලාන තරගාවලියට පෙර අපිට තව තරග 6 ක් පමණයි තිබෙන්නේ. ඒ නිසා මේ ලබන හැම ජයග්‍රහණයක්ම ලෝක කුසලාන තරගාවලියට බලපානවා. සිම්බාබ්වේ කණ්ඩායම කියන්නෙත් දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. ඒ නිසා ඔවුන් හමුවේ පරාජය වුණා කියලා අවතක්සේරු කරන්න හොඳ නැහැ”

තරගාවලි ජයග්‍රහණයට දායක වීමට හැකිවීම පිළිබඳව සතුටුයි - තරගාවලියේ වීරයා මැතිව්ස් කියයි

සංචාරක සිම්බාබ්වේ පිලට එරෙහිව පෙරේදා පැවති අවසන් පන්දු වාර 20-20 තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 9ක පහසු ජයක් ලබා ගත් අතර ඒ හේතුවෙන් මාස 30කට පසුව විස්සයි 20 තරගාවලියක් දිනා ගැනීමේ වාසනාව ශ්‍රී ලංකාව සතු විය. ශ්‍රී ලංකාව අවසන් වරට විස්සයි 20 ද්විපාර්ශ්වික තරගාවලියක ජය සටහන් කොට තිබුණේ ඉන්දියාවට එරෙහිව 2021 වසරේ ජූලි මාසයේදීය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පෙරේදා පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 14.1ක් තුළදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 82 පන්දු වාර 10.5 කදී පසු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

අවසන් තරගයේ වීරයා සම්මානය නායක වනිඳු හසරංග දිනාගත් අතර, වසර 3කට පසු ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමට එක් වූ ඇන්ජලෝ මැතිව්ස් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.

තරගාවලි ජයග්‍රහණයට දායක වීමට හැකිවීම පිළිබඳව සතුටුයි - තරගාවලියේ වීරයා මැතිව්ස් කියයි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිශ්ශංක හා කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට ලකුණු 64ක සබඳතාවක් ගොඩනැඟූහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment