අනුරපුර වනඅලි ප්‍රහාරවලින්  සතියක් තුළ හතක් මරුට

132

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ කැබිතිගොල්ලෑව උඩංගාව සහ හඳගල, අප්පුවාවැව යන ප්‍රදේශවලදී ඉකුත් 26 දා රාත්‍රී සහ පෙරේදා (27 දා) අලුයම් කාලයේ සිදු වූ වනඅලි ප්‍රහාර දෙකකින් අසූ හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් සහ හතළිස් හතර හැවිරිදි පුද්ගලයකු මරුමුවට පත්වූහ.

මේ අනුව කැබිතිගොල්ලෑව අප්පුවාවැව ප්‍රදේශයේ අසූ හැවිරිදි පුංචිරාලගේ පේමාවතී නමැති වයෝවෘද්ධ කාන්තාවක් සිය දහඅට හැවිරිදි මුණුබුරා සමග සමෘද්ධි සහනාධාරය ලබා ගැනීම සඳහා කැබිතිගොල්ලෑව නගරයට යෑමේ අපේක්ෂාවෙන් ඉකුත් 26 දා අලුයම 5.45 ට පමණ තම නිවසින් බැහැර යෑමට මිදුලට බසිනවාත් සමගම මිදුලේ ගසක් අසල සිටි වන අලියකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් මරුමුවට පත්වී ඇත.

මේ අතර කැබිතිගොල්ලෑව උඩංගාව ප්‍රදේශයේදී සිය නිවසට මීටර් දෙසීයක් පමණ දුරකින් පිහිටි මළ ගෙදරකට ගොස් සිය දරුවන් දෙදෙනා සමග රාත්‍රී 10.45 ට පමණ ආපසු නිවස වෙත පාපැදියකින් ගමන් කරමින් සිටියදී වන අලියෙකු පහරදීමෙන් හතළිස් හතර හැවිරිදි අමිල ගාමිණී ජිනදාස නමැති අය මියගොස් ඇත. මියගිය පුද්ගලයාගේ දරුවන් දෙදෙනා අලියාගෙන් බේරී පලා ගොස් ජීවිතය බේරා ගෙන ඇත. මේ අතර ඉකුත් 20 වෙනිදා සිට ඊයේ (28 දා) දක්වා වූ සතියක කාලය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, සූරියදමන, හොරොව්පතාන, පරංගියාවාඩිය, තිරප්පනේ, වෙල්ලමුදාව, එප්පාවල, කැලේගම, එප්පාවල, කෝන්වැව, කැබිතිගොල්ලෑව, උඩංගාව සහ අප්පුවාවැව යන ප්‍රදේශවලදී සිදු වූ වන අලි ප්‍රහාරවලින් කාන්තාවක් ඇතුලු පුද්ගලයන් හත් දෙනෙක් මරුමුවට පත්ව ඇත.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

 

advertistmentadvertistment
advertistmentadvertistment