පාපන්දු නව ව්‍යවස්ථාව වැඩි බහුතරයකින් සම්මතයි

129

වසර 35 කට පසුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව තුනෙන් දෙකක වැඩි බහුතරයකින් ඊයේ (22 වැනිදා) පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී සම්මත විය.

වත්තල පෙගාසස් රීෆ් හෝටලයේ දී පැවැති නව ව්‍යවස්ථාව සම්මත කරන ඡන්දය නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයෝ තිදෙනෙක් ද සහභාගි වී සිටියහ.

නව ව්‍යස්ථාව සම්මත වීමෙන් පසු ක්‍රීඩා ඇමැතිවරයා ගේ විශේෂ විධානයක් ද ලබා ගනිමින් ලබන ඔක්තෝබර් 23 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය පැවැත්වීමට ද තීරණය කර ඇත.

නව ව්‍යවස්ථාවේ සියලු වගන්ති ඒකමතිකව සම්මත වූ අතර එක් එක් පාපන්දු ලීගයන් සඳහා නිලවරණයකදී හිමි විය යුතු ඡන්ද සංඛ්‍යාව පිළිබඳ වගන්තියට පමණක් ඡන්ද විමසීමේදී බෙදීමක් සිදු විය.

ඒ අනුව ලීග සඳහා නිලවරණවලදී ඡන්ද 3ක් හිමිවිය යුතු ද, එක් ඡන්දයක් හිමිවිය යුතු ද යන බෙදීම මත ඊයේ ඡන්ද විමසූ අතර එහිදී එක් එක් ලීගයක් සඳහා ඡන්ද තුනක් අවශ්‍ය බවට වූ යෝජනාව වැඩි ඡන්ද 48 කින් සම්මත විය. ඊට අදාළ යෝජනාව සඳහා ඡන්ද 48ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද කිසිවක් නොලැබුණි.

13ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

එම වගන්තිය හැර අනෙක් සියලු වගන්ති සඳහා ඡන්ද 61 ක් ලැබුණු අතර කිසිවකුගේ විරෝධතාවයක් නොතිබිණ.

නව ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු පාපන්දු විධායක සභාව 13 දෙනකු ට සීමා වේ. ඒ අනුව මෙතෙක් නිලවරණයෙන් තෝරා පත් කර ගන්නා ලද ලේකම්වරයකු වෙනුවට වැටුප් ලබන පරිපාලන ලේකම්වරයකු පත්වීමට නියමිතය.

නිලවරණය වෙනුවෙන් විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවන් දෙදෙනකුගෙන් සහ ඒ ශ්‍රේණියේ පරිපාලන නිලධාරියකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක් ද පත් කර ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment