ටෙලිකොම් කොටස් විකිණීම – රජය සතු කොටස් විකුණන්නේ සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූලවයි

292

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව අමරසූරිය
ජුනි 15 වන තෙක් කොටස් විකුණන්නේ නෑ
මුදල් ලේකම් උසාවියට පොරොන්දු වෙයි

ලබන මස 15 වැනිදා වන තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කිසිදු කොටසක් අලෙවි කිරීම සිදුනොකරන බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊයේ (08 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව අමරසූරිය මහතා, ගාමිණි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේ එම ප්‍රතිඥාව ලබා දුන්නේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් සියයට 49.50 කොටස් අලෙවි කිරීමට මුදල් අමාත්‍යාංශය සිදුකර ඇති සැලසුම අනුව කටයුතු කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ටෙලිකොම් වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ජේ. බී. ගුරුසිංහ සහ මහ ලේකම් අමරනාත් හෙට්ටිආරච්චි යන මහත්වරුන් විසින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබිණි.

රජය සතු පාඩු ලබන ආයතනවල කොටස් අලෙවි කිරීමට රජය සැලසුම් කර තිබියදී ලාභ ලබන ටෙලිකොම් සමාගම සතු කොටස් අලෙවි කිරීම යුක්තිසහගත නොවන්නේ යැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

එම සමාගමේ රජය සතු කොටස් අලෙවි කිරීම සිදු කරනුයේ සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල ආකාරයට බවට යැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව අමරසූරිය මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන මස 15 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඬුල්ල දින නියම කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment