අනුභූතිය විසින් කවියේ ආකෘතිය  නිර්මාණය කළ යුතුයි – කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා

384

දශක හතරක් පුරා කවිය සමග සමීප ඇසුරක් පවත්වන කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා තම ප්‍රථම කාව්‍ය සංග්‍රහය විංශතිය නමින් 1986 වසරේදී එළිදක්වන ලදී. එතැන් සිට වසර 36 ක දිගු නිහැඩියාවකින් පසු ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහය ‘අකල් මේඝ මැද’ මුද්‍රණයෙන් නිකුත් වන අතර ඊට සමගාමීව නුඹ මාලතී නමින් ගීත 18 ක් ඇතුළත් සංයුක්ත තැටිය ද නිකුත් කරන ලදී.

 ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය බිම වැටුණු යද පහන නමින් ඉකුත්දා මුද්‍රණයෙන් නිකුත් විය. පහත පලවන්නේ ඒ පිළිබඳව කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා සමග සිදුකළ කතාබහකි.

අනුභූතිය විසින් කවියේ ආකෘතිය  නිර්මාණය කළ යුතුයි - කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා

● කවිය සහ ඔබ අතර සමීප ඇසුරක් ගොඩනැඟෙන්නෙ මොන ආකාරයෙන්ද?

 මගේ තාත්තා කවියෙක් ඔහු සාහිත්‍ය සමාජය තුළ මහා කවියෙක් නොවුණට මා කුඩා කල මම දුටුව හොඳම කවියා තමයි මගේ තාත්තා. කොළඹ යුගයේ කවීන්ගේ ආභාෂය අරගෙන යමක් ලියන්න උත්සාහ කළ පුද්ගලයෙක් ලෙස ඔහු විසින් ලියන ලද කවි හවස

 ගෙදර ඇවිත් උස් හඬින් ගායනා කරන එක තාත්තගෙ පුරුද්දක් බවට පත්වෙලා තිබුණා. ඒ කවි කුඩා අපි හරි ආසාවෙන් අසා සිටියා. ඒ ඇල්ම ආදරය හින්දම පසුකාලෙක කවුරු හරි ලියන කවියක් කියවන එක පුරුද්දක් බවට පත් වුණා. අවසානයේ එහිම දිගුවක් ලෙස මට දැනෙන හැඟීම් දැනීම් මතුපිටට රැගෙන ඒම පිණිස කවිය කියන මාධ්‍යය මා විසින් තෝරා ගත්තා.

 ● ඔබ පාසල් අවධියේ සිටම කවියෙක් ලෙස ඉස්මතු වෙනවා කියන කාරණයද ඉන් ඉස්මතු වෙන්නේ +මෙහෙමයි, මම ගාල්ල රිච්මන්ඩ් විදුහලේ අධ්‍යාපනය ලබන අවධියේ හරි අපූරු සිංහල ගුරුවරයෙක් අපට හමුවෙනවා. එතුමාගේ නම ඩබ්ලිව්. එස්. බණ්ඩාර. සාහිත්‍යය පිළිබඳ මෙන්ම ජීවිතය පිළිබඳවත් බොහෝ ඇසුපිරූ තැන් ඇති එතුමා, එයාගෙ ශිෂ්‍යයන් ලෙස අප ළඟ තිබුණ විවිධ හැකියාවන් හඳුනාගෙන ඒවට උස් මහත් වෙන්න අවශ්‍ය වටපිටාව හදල දුන්නා. විශේෂයෙන්ම සාහිත්‍ය රස විඳින්නෙ කොහොමද කියන එක හොඳින් කියල දුන්නා. ඒ විතරක් නොවෙයි කවියන්ගෙ, ලේඛකයන්ගෙ ජීවන තොරතුරු පවා අපූරුවට අප ඉදිරියේ විස්තර කර සිටින්නත් ඔහු අමතක කළේ නැහැ. රත්න ශ්‍රී විජේසිංහ මහත්තයත් රිච්මන්ඩ් ආදිශිෂ්‍යයෙක් කියලා අපට කියල දුන්නේ එතුමා. ඒ වගේම බන්දුල නානායක්කාරවසම් රිච්මන්ඩ් ආදිශිෂ්‍යයෙක් වගේම බණ්ඩාර සර්ගෙ සමීපතම ගෝලයෙක්. ඒ කාලෙ බන්දුල නානායක්කාරවසම් සහ තවත් තරුණ කවි කිවිඳියන් කීපදෙනෙක් එක්ව “පොකුර” නමින් නම්කළ කුඩා කවි සඟරාවක් ප්‍රකාශයට පත්කළා. ඒ සඳහා නිර්මාණ ඉදිරිපත් කරන්න පාසල් ශිෂ්‍යයෙක් ලෙස මට අවස්ථාව හිමි වුණා.

● ඔබ දශක හතරක අත්දැකිම් සහිත කවියෙක්. නමුත් මේ වනවිට ඔබ කාව්‍ය සංග්‍රහයන් ත්‍රිත්වයක් පමණයි රචනාකොට තිබෙන්නේ. මේ පමාවට හේතුව කුමක්ද?

 එදා සිට අද දක්වාම මගේ කවිය විහිදුන ආකාරයක් තිබුණා. යම් ප්‍රස්තූතයක් ලද විගස එය මුල්කර ගනිමින් කවියක් ලියන්න මම උත්සුක වෙන්නෙ නෑ. එය මට කොතරම් දුරට දැනෙනවාද, අන්න ඒ දැනීමේ ප්‍රමාණය විසින් තමයි කවිය පිණිස මාව මෙහෙයවන්නෙ. මල්වෙඩි වගේ එක පාර පත්තුවෙලා නිවිල යන කවිය සහ මගේ කවිය අතර ලොකු වෙනසක් පවතිනවා.

 මගේ අලුත්ම නිර්මාණ එකතුව වන බිම වැටුණු සඳපහන දක්වා වූ නිර්මාණාත්මක ගමන්මඟ කිසිවෙක් විසින් විමසා පිරික්සා බැලුවොත් මම ඉහත සඳහන් කළ කාරණය කොතෙක් දුරට හරිද වැරදි ද කියලා දැක බලා ගන්න පුළුවන් වෙනවා.

● ඔබගේ කාව්‍යානුභූතීන් පිළිබඳ විමසිලිමත් වීමේදී විරෝධාකල්පය සඳහා වැඩි බරක් තබන ආකාරයක් දැකගන්න පුළුවන්. ඒ නැඹුරුව ඔබ තුළ ඇති වන්නෙ කොහොමද?

 අසූව දශකයේ කවි පරපුර කියන්නෙ බරපතළ හැලහැප්පීම් මැද්දෙ කවිය නඩත්තු කළ පිරිසක් මොකද, රට තුළ දේශපාලන වෙනසක් ඉල්ලමින් උස් හඬින් හඬ නඟන වෙලාවක තමයි එකල තරුණයන් වූ අපට කවි ලියන්න සිද්ධ වුණේ. එතැනදී අංකුර කවියෙක් ලෙස මමත් තීරණයක් ගත්ත, මේ සමාජ යථාර්ථය කවිය හරහා සමාජගත කළ යුතුයි කියලා. මොකද සමාජ දේහයෙන් පිටත සිට කවියකුට කවි ලියන්න බැහැ. ඒ වකවානුව තුළ විකල්ප පුවත්පත් කීපයක්ම විරෝධාකල්ප කවිය පිණිස ලොකු ඉඩක් වෙන්කර තිබීමත් විශේෂයක්. ඉතින් එවැනි සමාජ, දේශපාලන වටපිටාවක් විසින් විරෝධාකල්ප කවිය කෙරෙහි මාව නිරායාසයෙන් යොමු කරන්න ඇතැයි කියලා මේ වෙද්දි මට සිතෙනවා.

● ඔබ ඇතුළු එම පරම්පරාව විසින් සමාජ පරිවර්තනයක් පිණිස “කවිය” අවියක් කර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථකයි නේද?

 ඇත්තටම ඒ උත්සාහය සමාජ ප්‍රගමනය පිණිස කොතෙක් දුරට දායක වුණා ද කියන දෙය මට අදටත් තක්සේරුවක් නෑ. මොකද ඒ වෙද්දි අනාධිමත් කලක පටන් කවියත් සමග සමීප ඇසුරක් පැවැත්වූ අපේ ජන සමාජය කවියෙන් ඈත් වෙමින් හිටියේ.

 1977 විවෘත ආර්ථිකයෙන් පස්සෙ මේ තත්ත්වය තවත් වෙනස් වෙනවා. 88/89 සමාජ පුපුරා යෑම කියන්නෙත් එක්තරා පැත්තකින් විවෘත ආර්ථිකයේම පුපුරා යෑමක්. කවියට ඉන් පරිබාහිරව පවතින්න බැරි වුණා. එතැනදි කවියන් වශයෙන් අපි ඉල්ලා සිටිය පරිවර්තනය සිදුවුණේ නැහැ. නමුත් කවිය කියන සාහිත්‍ය ශානරය ඇතුළේ යම් යම් ගුණාත්මක වෙනස්කම් ඒ හරහා ඇති වුණා.

● නමුත් ඔබ කවියෙන් ඈත් වෙනවා.

 නැහැ, කවි නොලීවම නොවෙයි. ඔබ ඔය සඳහන් කරන අතරමැදි කාලය තුළ මගේ නිර්මාණ ජීවිතයේ යම් අඩුවක් සිද්ධ වුණා. ඒ සඳහා කාරණා කීපයක් බලපෑවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මම කලින් සඳහන් කළ විවෘත ආර්ථිකයේම ගොදුරක් බවට පත් වෙනවා. ඊට අමතරව මේ සමාජයේ මම කොතැන ද හිටගන්නෙ කියන තැන පිළිබඳ මට ප්‍රශ්නයක් තිබුණා. ඔය ආදී වශයෙන් මා විසින් මාව ප්‍රශ්න කරමින් ඉන්න තත්ත්වයක් තුළ වරින්වර මට කවියෙන් ඈත්වී සිටීමට සිද්ධ වුණා.

● 2020 වසරේදී “අකල් මේඝ මැද” කාව්‍ය සංග්‍රහය සහ “නුඹ මාලතී” සංයුක්ත තැටිය හරහා නැවත මම පාඨකයන් අතරට එනවා. ඒ නැවත පැමිණිම සිද්ධ වෙන්නෙ කොහොමද?

 2010 වර්ෂය වනවිටත් මගේ කවි එකතුවක් මා සතුව තිබුණා. නමුත් ඒ නිර්මාණ පුවත්පත්වල පළවෙලා තිබුණේ නැහැ. ඒ වනවිට මම මුහුණු පොතේ සාමාජිකයෙක් වෙලා හිටියෙත් නැහැ. ඔය වකවානුව තුළ මගේ නිර්මාණ ජීවිතයේ තවත් වෙනසක් සිද්ධ වෙනවා. ඒ තමයි කවියෙන් ගීතයට සංක්‍රමණය වීම. මා විසින් රචනා කරන ලද ගීත එකතුවක් රත්න ශ්‍රී විජේසිංහයන් අතට පත් කළාට පස්සෙ එතුමා මට කිව්වා, ඒ නිර්මාණ අතර හොඳ ගීත කීපයක්ම පවතිනවා, යම් වියදමක් දරලා හරි ඒ නිර්මාණ ටික එළියට දාන්න කියලා. ඒ සමාජයීය වටිනාකමත් එක්ක තමයි “නුඹ මාලතී” සංයුක්ත තැටිය රසිකයන් අතට පත් වෙන්නේ ඒත් එක්කම එතෙක් මා ළඟ සුරැකිව පැවැති කවි එකතුව “අකල් මේඝ මැද” නමින් නම්කරන ලද කාව්‍ය සංග්‍රහයක් හරහා පාඨකයන් අතට පත් කරනවා.

● මුහුණු පොත තුළ නිතර මුණගැසෙන කවියෙක් ලෙස ඔබ ඒ හරහා ගනුදෙනු කරන්නෙ මොන ආකාරයෙන්ද?

 මා ඇතුළු 80 දශකයේ පරපුර කවියත් සමග කටයුතු කරද්දී අපේ නිර්මාණ ජනගත කළ ප්‍රධාන මාධ්‍ය බවට පත්වෙලා තිබුණේ පුවත්පත. එතැනදී යම් නිර්මාණයක් එළිදක්වන්න සිද්ධ වුණේ සීමිත ඉඩකඩක් ඇතුළෙ පමණයි. නමුත් ඒ හරහා යම් පණිවිඩයක් ජනගත කරන්න පුළුවන්කම තිබුණා. එදා පරපුර ඒ වගකිම ඒ අයුරින්ම ඉටු කළ බවත් සඳහන් කළ යුතුමයි. නමුත් දැන් ලෝකය පවතින්නේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක. මමත් මේ වනවිට මුහුණු පොතේ සාමාජිකයෙක්. ඒ තුළ අපි ලියන ඕනෑම දෙයක් ජනගත කරන්න පුළුවන්. මේකෙ හොඳ සහ නරක කියන දෙකම පවතිනවා. තමන්ගේ නිර්මාණයක් මුහුණු පොත හරහා එළියට දාන නිර්මාණකරුවකුට ලැබෙන ප්‍රතිචාර අනුව තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් වගේම ඒ ප්‍රතිචාර ඇතුළෙ තමන් “පොරක්” කියන හැඟීමත් එක්ක තමන්ගේම සෙවණැල්ලට තමන්ව වැසී යන්නත් පුළුවන්. මේ කියන කාරණා දෙක පිළිබඳ අවබෝධයක් සහිතව තමයි මුහුණු පොත සමග කරන ගණුදෙනුව කරගෙන යන්න වෙන්නෙ.

● සංවාදය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment