නාලක සජී රියැලිටි වේදිකාව අත්හරීවිද?

177

සූර්යාත් එක්ක අලුත්ම වැඩක

නාලක සජී ජයසිංහ ලංකාවේ රියැලිටි ප්‍රේක්‍ෂකයන්ට නම් අලුත් කෙනෙක් නෙමෙයි. නමුත් ඔහු අලුත් වැඩක් පටන් අරගෙන.
මෙතැන් පටන් ඔහු යන්නෙ ඔහුගේම ගමනක්. හැබැයි පරණ පුරුදු දේවල් ඔහු අතින් ගිළිහෙන්නෙ නැහැ. අපි නාලකගෙන්ම වැඩිදුර තොරතුරු දැනගනිම.

නාලක, අපි පුංචි හඳුන්වාදීමක් කරමු?

මගේ ගම පාදුක්ක. පාසල් ගියේ පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයට. මගේ අම්මාවත් තාත්තාවත් සංගීතයට සම්බන්ධ නැහැ. හත්වන ශ්‍රේණියේදී තමයි මම සංගීතය ඉගෙනීම ආරම්භ කළේ. සා/පෙළට වාදන භාණ්ඩය විදිහට තෝරාගත්තෙ බටනළාව. උ/පෙළත් අවසන් වෙලා තමයි මම ගිටාරය අතට ගන්නෙ. ඒ වනතුරු ගිටාරයක් අල්ලලාවත් තිබුණෙ නැහැ. මම වැඩිදුර අධ්‍යාපනය ලබන්නෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්. එහිදී මම වාදන භාණ්ඩය හැටියට සිතාරය තෝරාගන්නව. අවසානයේ භාත්කණ්ඩය විභාගය සමත්වෙලා වාද්‍ය විශාරද උපාධිය ගන්නව. ඒ උපාධියෙන් රැකියාවක් කරනවාට වඩා මට වුවමනා වුණේ සංගීත අධ්‍යක්‍ෂවරයෙක් වෙන්න.

නාලක සජී රියැලිටි වේදිකාව අත්හරීවිද?

ඔබේම සංගීත කණ්ඩායමක් පටන්ගත්තා කියල ආරංචියි?

මම මේ වනතුරු ලංකාවේ බොහෝ ගායක ගායිකාවන්ට සහාය වෙමින් සංගීත අධ්‍යක්‍ෂවරයෙක් හැටියට කටයුතු කළා. ඒ අත්දැකීම් එක්ක මම කල්පනා කළා මෙතැන් පටන් මගේම සංගීත කණ්ඩායමක් හදාගෙන ඉදිරියට යන්න.

කණ්ඩායමේ නම?

ඔව්” අපි අලුත් සංගීත කණ්ඩායම නම් කළේ Grade 14 කියල.

කණ්ඩායමේ සාමාජිකයන් හඳුන්වා දුන්නොත්?

මම” මගේ වාද්‍ය භාණ්ඩය වෙන්නෙ ප්‍රධාන වශයෙන් ගිටාරය. ඒ හැරුණම තවත් සංගීත භාණ්ඩ කිහිපයක් වාදනය කරනව. තිසර බණ්ඩාර (වයලීන් සහ රිදම් ගිටාර්) ර්‍ණ ශාලුක හෙට්ටිආරච්චි (බේස් ගිටාර්)” කුමා ලියනගේ (කී බෝඩ්)” චමින්ද දන්තිල (ගිටාර් වාදනයෙන් සහ ගායනයෙන්)” දර්ශන ජයමාන්න (ඩ්‍රම්ස්)” සූර්යා (ගායනය) අපේ කණ්ඩායමේ සාමාජිකයන් හැටියට ඉන්නව.

ඔබේම සංගීත කණ්ඩායමක සිහිනයට කොපමණ කලක් වෙනවද?

දැනට කාලෙකට කලින් ඉඳන් මට සංගීත කණ්ඩායමක් පටන්ගන්න ඕන කියන වුවමනාව මට තිබුණ. ඒ වගේම මට සංගීත භාණ්ඩ කිහිපයක්ම වාදනය කරන්න පුළුවන්. අවුරුදු ගාණක් රියැලිටි වැඩසටහන්වල සංගීත අධ්‍යක්‍ෂණය කළා. මේ නිසා මට ආසාවක් ඇති වුණා” අලුත්ම දෙයක් වගේම අපේම දෙයක් කරන්න.

නාලක සජී රියැලිටි වේදිකාව අත්හරීවිද?

මේ ආරම්භයට තවත් අරමුණක් තිබුණා?

ඔව්” මේ සංගීත කණ්ඩායමේ ආරම්භයත් එක්ක මගේ බලාපොරොත්තුවක් තමයි ඊළඟ පරම්පරාවට උදව් කරන එක. මම දැනටමත් සරසවි කිහිපයක දරුවන්ට සංගීත කටයුතු ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය පහසුකම් ලබාදීමට මගේ සංගීත කණ්ඩායමෙන් කරන ප්‍රසංගවලින් සහ මගේ පෞද්ගලික දේවල් එකතුකරගෙන ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කරන්න සැළසුම් කරගෙන යනව.

අලුත්ම ගීතයක් කළා?

මේ ගීතය නම් කළේ ‘රැස් නිවා. කියල. පද රචනය කළේ මනුරංග විජේසේකර. සංගීත අධ්‍යක්‍ෂණය කළේ මම.

රියැලිටි වැඩසටහන් අතහරිනවද?

මම එහෙම කියන්නෙ නැහැ. මට ඕන වුණේ මම ඉගෙනගෙන තියෙන දෙයින් හරි ප්‍රයෝජනයක් ගන්න. ඒ වගේම මෙතෙක් කලකට මහන්සියෙන් ඉගෙනන ගත් දේවල් වලින් හරි ප්‍රයෝජනයක් ගත්තෙ නැහැ කියල මට හිතුන. එක රාමුවකට හිරවෙලා වගේ හිටියෙ. කරගෙන ආපු වැඩ එහෙමම තියාගෙන එතනින් ඉදිරියට පියවරක් තමයි මම මේ තියල තියෙන්නෙ.

සූර්යා කොහොමද සම්බන්ධ වෙන්නෙ?

සූර්යා කියන්නෙ හොඳට සංගීතය ඉගෙනගත්ත කෙනෙක්. ඒ වටිනාකමෙන් ඔහුත් මෙතෙක් කලකට ප්‍රයෝජනයක් අරගෙන නැහැ කියලයි මට හිතුනෙ. ඒ වගේම ගීත ගායනයෙන් වැඩිය දකින්න නැති මුහුණක්. සංගීත කණ්ඩායමකට කොහොමද කෙනෙක්ව තෝරාගන්නෙ කියන දේ මගේ ඔළුවෙ වැඩකරනව. ඒක වෙන්නෙ අත්දැකීමෙන්මයි. ජන ගීයේ පටන් බටහිර ඔපෙරාව දක්වා ගායනා කරන්න පුළුවන් හැකියාවක් සූර්යාට තියෙනව. ඒක ප්‍රේක්‍ෂකයා දැකල නැහැ. ඒ අනුව තමයි මම ඔහුව තෝරාගන්නෙ.

ඔබ සංගීත භාණ්ඩ රැසක් වාදනය කිරීමේ හැකියාව තිබෙනව?

ඔව්” මට සංගීත භාණ්ඩ හැටක් පමණ වාදනය කරන්න පුළුවන්.

මෙවැනි කාලයක සංගීත කණ්ඩායමක් ජනප්‍රිය කරගැනීම ලොකු අභියෝගයක්?

මගේ ජීවිතයේ කිසිම දෙයක් මට බන්දේසියක තියල ලැබෙනව වගේ ලැබුණෙ නැහැ. මාර විදිහට මහන්සි වෙලා” දුක්විඳල තමයි ඒ දේවල් ලබා ගත්තෙ. ඒ නිසා මම අභියෝගවලට කැමතියි. මම හිතනව අපි හරි දෙයක් කළොත් ඒක පිහිටයි කියල. තරඟයට මුහුණ දෙන්න බලාගෙන තමයි අපි එළියට එන්නෙ. මගේ කණ්ඩායම ගැන මට බයවෙන්න දෙයක් නැහැ.

ඔබේ ඉලක්කය ගෘහස්ථ ප්‍රසංග?

ඔව්” අපි ගොඩක්ම උත්සාහ කරන්නෙ ගෘහස්ථ ප්‍රසංග කරන්න. ඒ වගේම විදෙස් සංචාරත් අපේ ඉලක්ක අතර තියෙනව.

සංගීත කණ්ඩායම එළිදැක්වීම සිදු වුණේ කොහොමද?

පසුගිය 31 වැනිදා අපි සංගීත කණ්ඩායම එළිදැක්වීමේ කටයුතු සිදු කළා. ඒ වගේම ගීතයේ පූර්ව ප්‍රචාරක පටයත් එළිදැක්වුවා. ඉදිරියේදී තවත් ගීත කිහිපයක් සහ නව නිර්මාණ කිහිපයක්ම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

Grade 14 අනෙක් කණ්ඩායම්වලින් වෙනස් වෙන්නෙ කොහොමද?

මගේ කණ්ඩායමේ සාමාජිකයන්ට විවිධ සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව තියෙනව. ඒ වගේම තාක්‍ෂණය උපයෝගී කරගෙන කටහඬ පැත්තෙනුත් වෙනස්ම දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.

නාලක සජී කණ්ඩායම් සංගීතයේ ලොකු පෙරළියක් කරයිද?

ඊළඟ පරම්පරාවට ශක්තියක් වෙන්න කණ්ඩායම් සංගීත කලාව පැත්තෙන් ලොකු වෙනසක් කරන්න උපරිම උත්සාහ කරනව.

වර්තමානයේ බිහිවන සංගීත කණ්ඩායම් ගැන ඔබේ අදහස?

ඇත්තටම දැන් හොඳ සංගීත කණ්ඩායම් කිහිපයක්ම බිහිවෙලා තියෙනව. ඒක හොඳ ප්‍රවනතාවක්.

ගායක ගායිකාවන් සමග සීමාවන් තියෙනවද?

ලංකාවේ සියලූම ගායක ගායිකාවන් මගේ සහෝදර සහෝදරියො වගේ. හැමෝම මට හරි ආදරෙයි. ඒ අයගෙ ගෞරවය ආශීර්වාදය නිරන්තරයෙන්ම මට ලැබෙනව කියල දන්නව. හැමෝම එකතුවෙලා යන ගමනකට තමයි මම කැමති.

Grade 14 ස්වර පරාසය කොතෙක් දුරට විහිදෙනවද?

ඇත්තටම කිව්වොත් මම Grade 14 කණ්ඩායම හැදුවෙ ජන කවියේ පටන් නන්දා මාලනී මහත්මියගේ සහ සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ක්ලැසිකල් ගීතයත්” චිත්‍රාල් සෝමපාල මහත්මයාගේ රොක් සංගීතය දක්වාම සංගීත සපයන්න බලාපොරොත්තුවෙන්.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment