පළාත් සභාවලට මුදල් ලබා දීම සුදු අලියකුට කිතුල් කැවීමක් ද?

503

කලින් කලට පාලන තන්ත්‍රයේ සිදුවන දේශපාලන වෙනස්කම්වල බලපෑමකින් තොරව පළාත් සභා සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය අපක්ෂපාතී ලෙස ආණ්ඩුවට නිර්දේශ කරන බව තහවුරු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ජ) ව්‍යවස්ථාව අනුව ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස මුදල් කොමිෂන් සභාව ස්ථාපිත කර ඇත. එම කොමිෂන් සභාව නිල බලයෙන් පත්වන සාමාජිකයන් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා හා මහා භාණ්ඩාගාරයේ (මුදල් අමාත්‍යාංශයේ) ලේකම්වරයා ද ප්‍රධාන ජනවාර්ගික කොටස් තුන නියෝජනය කරනු ලබන ප්‍රවීනයන් තිදෙනකුගෙන් ද සමන්විත වේ. එම සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබේ. එහි වර්තමාන සභාපතිවරයා වන්නේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් තනතුර ඇතුළු උසස් තනතුරු රාශියක් හෙබවූ ඉන්පසු අමාත්‍ය මණ්ඩලයේ ලේකම් තනතුර දැරූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික නිලධාරියෙකි. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු ලෙසත් ඉන් පසුව අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරයකු ලෙසත් සේවය කර ඇති ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ද මහා භාණ්ඩාගාරයේ දෙපාර්තමේන්තු කිහිපයක අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු ලෙස සේවය කළ ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ද අනෙකුත් සාමාජිකයන් දෙදෙනා වේ. මුදල් කොමිෂන් සභා කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරවන ලේකම් ධුරය දරන මා ප්‍රාදේශීය මට්ටමින්, පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් විවිධ තනතුරු දරා ඉන් පසුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන් සේවය කරන අතර තුර මුදල් කොමිෂන් සභාවේ ලේකම් ධුරය සඳහා පත්කරන ලද රාජ්‍ය නිලධාරියෙක්මි. එමෙන්ම මුදල් කොමිෂන් සභාවට ව්‍යවස්ථාවෙන් පැවරුනු රාජකාරි ඉටු කිරීමට සහාය වීම සඳහා සුදුසුකම් සහිත කාර්ය මණ්ඩලයක් ද මුදල් කොමිෂන් සභා කාර්යාලයට රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගෙන් පත්කර ඇත.

මුදල් කොමිෂන් සභාවට ඉතාමත් ස්වාධීනව හා අපක්ෂපාතීව තම වගකීම් ඉටුකිරීමට පසුතලයක් ගොඩනැඟී ඇති අතර මුදල් කොමිෂන් සභාව විසින් සිය ව්‍යවස්ථාපිත වගකීම් ඉටු කිරීම සඳහා කරනු ලබන නිර්දේශ හෝ අරමුදල් ප්‍රමාණයන් පිළිබඳව හෝ සකස් කරනු ලබන ප්‍රතිපත්තීන් පිළිබඳව ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම හෝ තීරණයක් ලබා දීම කවර වුවද අධිකරණයක් හෝ විනිශ්චය අධිකාරියක් විසින් නොකළ යුතු බව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(ජ) (8) හී සඳහන් කර ඇත.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උපලේඛන 01 යටතේ පළාත් සභාවලට පැවරෙන විෂයන් ලැයිස්තුගත කර ඇත. එම උපලේඛනයෙන් එතෙක් රජය විසින් පවත්වාගෙන ගිය මහජන සේවාවන් විශාල ප්‍රමාණයක් පළාත් සභා යටතට පත් කරන ලදී. එම උපලේඛනයෙන් ජාතික පාසල් හා හමුදා පාසල් හැර අනිකුත් සියලුම පාසල් පළාත් සභාවලට පවරන ලදී. වර්තමානය වනවිට දස දහසකට ආසන්න පළාත් පාසල්වල ළමුන් ලක්ෂ 32 ක් (සමස්ත පාසල් සිසු දරුවන්ගෙන් 80% ක්) පමණ අධ්‍යාපනය ලබන අතර හාරසියයකට ආසන්න ජාතික පාසල්වල අධ්‍යාපනය ලබන්නේ ලක්ෂ 08 ක් පමණ ශිෂ්‍ය සංඛ්‍යාවකි. ජාතික රෝහල් හා විශේෂ කාර්යයන් සඳහා පිහිටුවන ලද රෝහල් හැර අනිකුත් සියලුම රෝහල් පවත්වාගෙන යෑම ද පළාත් සභාවලට පවරන ලදී. රෝග වළක්වා ගැනීමේ හා ප්‍රජා සෞඛ්‍ය සේවාවන් පවත්වා ගැනීම ද පළාත් සභාවලට පවරන ලද විෂයකි. එම පැවරීමත් සමඟ දිස්ත්‍රික් රෝහල්, ප්‍රාදේශීය රෝහල්, ග්‍රාමීය රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පළාත් සභා යටතට පත්විය. එමෙන්ම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලතල විමධ්‍යගත කරන තෙක් ජාතික මට්ටමෙන් පවත්වාගෙන ගිය කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන කටයුතු, වාරිමාර්ග කටයුතු, සියලුම ක්‍, ෘ හා ග්‍රාමීය මාර්ග, ආයුර්වේද හා දේශීය වෛද්‍ය කටයුතු, පරිවාස හා ළමාරක්ෂක කටයුතු, සමාජ සේවා කටයුතු, සමූපකාර සංවර්ධනය, පූර්ව ළමා විය සංවර්ධන කටයුතු, ග්‍රාමීය සංවර්ධන කටයුතු, ක්‍රීඩා සංවර්ධනය, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධනය, පළාත් පාලන ආයතන හා ඊට අනුශාංගික කටයුතු, පළාත් සංචාරක කටයුතු, වතු යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු විෂයන් විශාල ප්‍රමාණයක වගකීම් පළාත් සභාවන් වෙත පවරන ලදී.

පළාත් සභා ක්‍රමය නොපැවතියේ නම් ඉහත කී කාර්ය මණ්ඩල ජාතික මට්ටමින් පාලනය වන රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් විශේෂිත වියදම් ඒකක යටතේ ඉහත කී සේවා ඉටු කිරීම සඳහා පවත්වා ගැනීමට සිදුවනු ඇත. රජය විසින් විටින් විට ගනු ලබන ප්‍රතිපත්ති තීරණයන් අනුව පළාත් සභා විසින් නඩත්තු කළ යුතු සේවක සංඛ්‍යාව වාර්ෂිකව ක්‍රමිකව වර්ධනය වීමක් දක්නට ලැබේ. එයට උදාහරණයක් නම්, රජයේ ප්‍රතිපත්ති අනුව උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩසටහන් යටතේ රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරි අභ්‍යාසලාභීන් වැඩි ප්‍රතිශතයක් මෙන්ම කණිෂ්ඨ සේවය සඳහා බහුකාර්ය සංවර්ධන සහායකයන් ලෙස බඳවා ගත් පිරිසෙන් සැළකිය යුතු සංඛ්‍යාවක් ද අනුයුක්ත කර ඇත්තේ ද පළාත් සභා කාර්ය මණ්ඩලයට වීම පෙන්වා දිය හැකිය.

පළාත් සභාවලට මුදල් ලබාදීම ආණ්ඩුවේ වගකීමක්ද?

13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ජ (3) අනුව පළාතේ අවශ්‍යතා සපුරාලීමේ කාර්ය සඳහා ප්‍රමාණවත් අරමුදල්, ආණ්ඩුව විසින් වාර්ෂික අයවැයෙන් වෙන් කර දිය යුත්තේය. එබැවින් ආණ්ඩුව මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ අනුව මහජනතාවට සේවාවන් සැපයීම උදෙසා පළාත් සභාවලට ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා දීම ව්‍යවස්ථාපිත වගකීමක් වේ. වර්තමාන සන්දර්භය තුළ පළාත් සභාවලට පවරා ඇති විෂයන් සඳහා ලබා දිය යුතු අරමුදල් ජාතික මට්ටමේ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන විසින් වියදම් කරන්නේ නම්, එම වියදම් තුළිත සංවර්ධනයක් උදෙසා යොමුවන අයුරින් පළාත් අතර සාධාරණ අයුරින් බෙදා හැරීමක් සිදු නොවීමට බොහෝදුරට ඉඩකඩ තිබේ. එවිට සිදුවන්නේ ග්‍රාමීය ජනතාවගේ සුබ සාධනය සඳහා වැය කළ යුතු මුදල් නගරබද සංවර්ධනයට යොමු වී සම්පත් බෙදී යෑමේ විෂමතාවය තවදුරටත් වැඩි වීමයි. එවිට ජාතික පාසල් තව තවත් දියුණු වනු ඇත. නගර බද ඇති ජාතික රෝහල් පහසුකම් අතින් ඉතා ඉහළ මට්ටමකට පත්වනු ඇත. ජලය, විදුලිය, මංමාවත්, පාසල්, සෞඛ්‍ය පහසුකම්, ක්‍රීඩා පිට්ටනි, ඇවිදින මංතීරු, ප්‍රවාහන පහසුකම් හා අනෙකුත් සම්පත් හා සේවාවන් වැඩි වැඩියෙන් පොදු මහජනතාවගේ වියදමින් නගරබද ජනතාවට භුක්ති විඳීමට ඉඩ සැලසෙනු ඇත. ඒ සමඟම ග්‍රාමීය සංවර්ධනය මන්දගාමී වනු ඇත.

මෙම තත්ත්වය තේරුම්ගත හැකි වන්නේ මහජනතාවට සේවාවන් සැපයීම සඳහා වර්තමානයේ රාජ්‍ය යාන්ත්‍රණය නීත්‍යානුකූලව ස්ථාපිත වී ඇති ආකාරය පිළිබඳ මනා වැටහීමක් ඇතිව මත ප්‍රකාශ කරන විටයි. පළාත් සභා ක්‍රමයට පවතින මූලික විරෝධාකල්ප නිසා ග්‍රාමීය ජනතාවගේ හිමිකම් උදෙසා පළාත් සභාවලට මාරුවිය යුතු ප්‍රතිපාදන නාස්තියක් ලෙස හැඟීම්බරව දැකීමේ මානසිකත්වය ගොඩනැඟෙන්නේ පවතින වියදම් රටාවන් පිළිබඳව මනා අවබෝධයක් නොමැති වීම තුළින් ය.

පළාත් සභාවන්ට වාර්ෂිකව වැටුප් හා දීමනා සඳහා වෙන් වන රුපියල් බිලියන 391.67 ක් වන පුනරාවර්ථන වියදම්වලින් 24% ක් පමණ සෞඛ්‍ය අංශයේ කාර්යමණ්ඩල සඳහාත් තවත් 66% ක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩලය වෙනුවෙනුත් වැය කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ෂ වන උපලේඛනයේ සඳහන් අනෙකුත් සියලුම කාර්යයන්හි නිරත කාර්ය මණ්ඩලයේ වැටුප් හා දීමනා සඳහා වැය වන්නේ ඉන් 10% ක් පමණි. පළාත් සභාවලට ලැබෙන අතිකාල හා නිවාඩු දින වැටුප්වලින් 97% ක් පමණම වැය වන්නේ සෞඛ්‍ය අංශයේ ගෙවීම් සඳහා වේ. ඉහත තත්ත්වයන් යටතේ පළාත් සභාවලට වෙන් කරනු ලබන මුදල් වලින් 99% ක් පමණම වැය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා විසින් ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල පවත්වාගත යුතු මහජන සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා වේ. එබැවින් එම ප්‍රතිපාදනයන් තවදුරටත් වැඩිකර දෙන්නේ නම් ග්‍රාමීය ජනතාවට සාධාරණයක් ඉටු වේ.

පළාත් සභාවලට මුදල් ලබා දීමේ අවශ්‍යතාවය ඉහත කරුණුවලින් ඉදිරිපත් කළ ද එය පළාත් සභා පවත්වාගෙන යා යුතු ද නැද්ද යන්න ගැන හෝ මහජන නියෝජිතයන් නොමැතිව පළාත් සභා සේවාවන් පවත්වා ගැනීමේ යෝග්‍ය අයෝග්‍යභාවය පිළිබඳව සාධාරණීකරණයක් කිරීමක් හෝ විග්‍රහයක් කිරීමක් නොවේ. එය වර්තමානයේ පවත්නා නීතිය අනුව ග්‍රාමීය ජනතාවට සේවා සැපයීමේ ප්‍රධානම ආයතනය ලෙස පළාත් සභා ස්ථාපනය වී පවත්නා බැවින් පළාත් සභාවලට ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා නොදුනහොත් එය ග්‍රාමීය ජනතාවගේ හිමිකම් අහිමි කිරීමක් වන බව පැහැදිළි කිරීමක් පමණක් වේ.

පළාත් හා ප්‍රාදේශීය සංවර්ධනය සඳහා යොමුවන ප්‍රතිපාදන වඩාත් තුළිත අයුරින් බෙදා හැරීමේ අවශ්‍යතාවය මැනවින් වටහාගෙන ඇති මුදල් අමාත්‍යාංශය 2024 වර්ෂය සඳහා අයවැය කැඳවීමේ චක්‍රලේඛයෙන් ද ඉතා හොඳ පියවරක් ගෙන තිබේ. එහි දක්වා ඇති උපදෙස් අනුව පළාත් සභා වෙත පැවරුනු විෂයන් සඳහා කිසිදු ජාතික මට්ටමේ අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක් හෝ වෙනත් ආයතනයක් විසින් මුදල් ඉල්ලීමෙන් වැළකිය යුතු වේ. එවිට එම ප්‍රතිපාදන වඩාත් තුළිත ලෙස පළාත් සභාවලටම යොමු කළ හැකිවේ.

පළාත් සභාවලට මුදල් ලබාදීම සුදු අලියෙකුට කිතුල් කැවීමක් නොවන්නේ ඇයි?

පළාත් සභා ස්ථාපිත වූයේ ජනතාවගේ විශාල විරෝධතාවයක් මධ්‍යයේ බැවින් දැනට වසර 35 කට වැඩි කාලයක් ක්‍රියාත්මක වෙමින් පවත්නා පළාත් සභාවලට පැවරී ඇති සේවාවන් ඉටු කිරීමේ වගකීම ක්‍රියාත්මක වන ආකාරය හා ඒ සඳහා මූල්‍යකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව විධිමත් විද්වත් සාකච්ඡාවන් සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි. බොහෝවිට සිදු වන්නේ පළාත් සභා ක්‍රමය ගැන ඇති සෘණාත්මක ජනතා ආකල්පය හේතුවෙන් වඩාත් ආකර්ශණීය වන්නේ පළාත් සභා විරෝධී මාතෘකා බැවින් එම මාතෘකාම ඉස්මතු වන ආකාරයට කටයුතු සිදු වීමයි. පළාත් සභා ක්‍රමය පවත්වා ගත යුතු ද නැද්ද පිළිබඳව විද්වත් සාකච්ඡාවලදී එලෙස කටයුතු කළ හැකි වූව ද පවතින පළාත් සභාවලට අරමුදල් සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීමේ දී වඩා ගැඹුරින් ඒ පිළිබඳව සාධාරනව, සමතුලිතව අධ්‍යයනය කර කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවන්නේ නම් ඒ තුළින් සිදුවන්නේ ග්‍රාමීය ජනතාවට සේවාවන් සැපයීම සඳහා පළාත් සභාවලට ලබා දෙන මුදල් පිළිබඳ දැඩි විරෝධාකල්පයක් ඇති කරලීමයි. එය ග්‍රාමීය ජනතාවට කරනු ලබන බලවත් අසාධාරණයකි.

පාර්ලිමේන්තුව විසුරුවා ඇති කාලවකවානුවල දී රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ජාතික ආරක්ෂාව ආදී සේවාවන් එලෙසම පවත්වාගෙන යන්නේ යම්සේ ද පළාත් සභාවල නියෝජිතයන් නොමැති තත්ත්වයක් යටතේ වූවද පළාත් බලධාරීන්ට පළාත් සභා විසින් සැපයෙන ඉහත කී සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට සිදු වේ. එබැවින් පළාත් සභා නියෝජිතයන් සිටින වකවානුවට වඩා නියෝජිතයන් නොමැති වකවානුවල වියදම් වැඩිවී ඇති බවට පලවන ප්‍රකාශවල තාර්කික පදනමක් නොමැති බව කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි.

එබැවින් ග්‍රාමීය ජනතාවට සේවාවන් සැපයීම සඳහා වෙනත් සුදුසු විකල්ප ක්‍රමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඇති කළහොත් විනා දැනට පවතින පළාත් සභා ක්‍රමයම ඒ සඳහා භාවිතා කිරීමට සිදුවන බැවින් වර්තමාන සන්දර්භය තුළ පළාත් සභාව හෝ පළාත් පාලන ආයතන තුළ මහජන නියෝජිතයන් නොමැතිව වුවද පළාත් සභා සඳහා ප්‍රතිපාදන වෙන්කර දීම ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකරලීම සඳහා ලබා දෙන ප්‍රතිපාදනයක් මිස සුදු අලියෙකුට කිතුල් කැවීමක් නොවන බව සඳහන් කළ යුතුව ඇත.

පළාත් සභාවලට මුදල් ලබා දීම සුදු අලියකුට කිතුල් කැවීමක් ද?

මුදල් කොමිෂන් සභාවේ ලේකම්

ඒ.ටී.එම්.යූ.ඩී.බී.

තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment