අරක්කු සමාගම් පොලු තැබූ කෝටි 623 ගන්න හදයි – ඇමැති සියඹලාපිටිය

710

අරක්කු නිෂ්පාදනය කරන සමාගම් කිහිපයකින් රජයට අයවීමට ඇති රු. කෝටි 623 ක මුදල අයකර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ පැවසීය.

මින් තුනෙන් එකක් බදු වශයෙන් ද ඉතුරු ප්‍රමාණය ප්‍රමාද දීමනා වශයෙන්ද අයවීමට ඇතැයි මුදල් රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

එම සමාගම් සමග සාකච්ඡා කර අදාළ හිඟ මුදල් අයකර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡාව ලබන සතියේ මුල කැඳවා ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

එම සමාගම් සඳහා දින 14 ක කාලයක් ලබාදී ඇති අතර ඉන් පසුව අදාළ මුදල් අයකර ගැනීමට පියවර ගැනීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා කීවේය.

එසේම දේශීය ආදායම්, රේගු හා සුරාබදු දෙපාර්තමේන්තු ඒකාබද්ධව සකස් කළ යෝජනාවලියක් හරහා රජයට රු. කෝටි 10,000 ක අතිරේක ආදායමක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවත් ඒ හරහා නීත්‍යානුකූලව බදු ගෙවන්නන්ට කිසිදු බරක් නොවැටෙන බවත් ඇමැති සියඹලාපිටිය මහතා කීවේය.

එසේම නිෂ්පාදනාගාරවලට සපයන රා ලීටරයක් සඳහා රු. 10 ක බද්දක් අලුතින් පැනවීමට යෝජනා කර ඇති බවත් ඒ හරහා වාර්ෂිකව රු. මිලියන 156 ක මුදලක් උපයාගත හැකි බවත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා තවදුරටත් පැවසීය.

මේ අවස්ථාවට වැඩබලන මුදල් අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත රත්නායක, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී. ආර්. එස් හපුආරච්චි සහ රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී. බී. එස්. සී. නෝනිස් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වී සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment