අවිශ්කගේ සුපිරි ඉනිම ශ්‍රී ලංකාවට ජය ගෙන දෙයි

1025

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරගයෙන් ම ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඊයේ (13 වැනිදා) සමත් වූයේය.

බංගලාදේශ ‘ඒ’ කණ්ඩායම සමග කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී පැවැති එම තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 48 ක ජයග්‍රහණයක් වාර්තා කළ අතර ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 133 ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත්වූයේය.

පන්දු 124 කින් වාර්තා වූ අවිශ්ක ගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 13 ක් අන්තර්ගත වූයේ ය.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන් අතර ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 349 ක් ලබාගනිමිනි. බංග්ලාදේශ ක්‍රීඩකයන් සියලු දෙනා ලකුණු 301කට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී ශ්‍රී ලංකා වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රමෝද් මධුශාන් ලකුණු 50 කට කඩුළු තුනක් සහ දුශාන් හේමන්ත ලකුණු 54 කට කඩුලු 3ක් බිඳ හෙලූහ.

සහන් ආරච්චිගේ හට කඩුලු දෙකක් හිමිවූ අතර චාමික කරුණාරත්න සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවාගත්හ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ ලකුණු 31 ක් සහ මිනෝද් භානුක ලකුණු 57 ක් ලබා ගත්හ. පසිඳු සූරියබණ්ඩාර පන්දු 32 කින් ලකුණු 43 ක් ද අශේන් බණ්ඩාර පන්දු 25 කින් ලකුණු 35 ක් ද, නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 19 කින් ලකුණු 31 ක් ද රැස් කළේය.

පන්දු යැවීමේ දී රිපොන් මොන්ඩල් හා සෞම්‍ය සර්කාර් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

advertistmentadvertistment
advertistmentadvertistment