වෘකයන් අතර නග්නව…

906

මෙයට අවුරුදු දසදහස් ගණනකට පෙර රෝදය සොයාගැනීමත් සමඟ මනුෂ්‍ය ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම වෙනස් වී වේගවත් විය. මෙය ඉතා සරල තත්ත්වයකි. දෙපයේ වේගයට වඩා රෝදයේ වේගය සිය දහස් ගුණයකින් අධිකය. මේ නිසා ශිෂ්ටාචාරය වේගවත් විය. හැබැයි අන්තර්ජාලය සොයා ගැනීමෙන් පසු ශිෂ්ටාචාරයට ලැබුණු වේගය අන් කිසිදු මෙවලමකින් ශිෂ්ටාචාරයට නොලැබුණු බව අප පිළිගත යුතුව තිබේ. සමාජ මාධ්‍ය නමැති මෙවලම ක්‍රියාත්මක වන්නේ අන්තර්ජාලය හරහාය. සමාජ මාධ්‍ය නිසා ලෝකය කුඩා ග්‍රාමසේවක වසමක් බවට පත්විය. සැතපුම් දහස් ගණනක් ඈත සිදුවන දේ තප්පරයක කාලයක් තුළ දැනගැනීමට අන්තර්ජාලයේ ගමන් කරන්නාට හැකිව තිබේ. මීට අවුරුදු සීයකට පෙර මේ රටට අලුත් පුවතක් ආවේ නැව් නැගලාය. ඉන්පසු එම පුවත කම්බි දිගේ එන්නට පටන් ගත්තේය. තවත් කලකට පසු එය ගුවන්විදුලි තරංග හෝ රූපවාහිනි තරංග ඔස්සේ අප වෙත ළඟාවිය. අන්තර්ජාලය ඒ සියල්ලටම වඩා වේගවත්ය. ඒ පිළිබඳ බොහෝ විවේචන තිබේ. එම විවේචනවලට හේතු වන්නේ අන්තර්ජාලය නොව එය හසුරුවනු ලබන ආකාරයයි. වතුර බේසමක ගිල්වා වධ දුන් කුඩා දරුවකු ගැන පුවතක් මීට දින කිහිපයකට පෙර අන්තර්ජාලය පුරා හුවමාරු වනු අප විසින් දක්නා ලදී. දින කිහිපයක් තුළ එම සිද්ධියට අදාළ වධකයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. මීට මාස කිහිපයකට පෙර කුඩා දරුවකුට වේවැලකින් ගසමින් වධ දෙන පියකු ගැන අන්තර්ජාලයේ පළවිය. ඒ අපරාධකරු ද අත්අඩංගුවට ගෙන තිබේ. සුළු මවක විසින් වධ බන්ධනයට ලක්වූ දැරියක පිළිබඳ පුවතක් ෆේස්බුක් එකේ පළවීමත් සමග ඒ සුළු මව අත්අඩංගුවට පත්විය. මෑත වකවානුවේදී සිදුවූ ළමයින් අපහරණය කිරීම් බොහොමයක් ක්‍ෂණයකින් වාර්තාකොට පොලිසියට උදව් කරන ලද්දේ සමාජ මාධ්‍ය මගිනි. දරුවකු වතුර බේසමක ගිල්වමින් වධයට ලක්කළ වධකයා වැල්ලම්පිටියේ එකෙකි. දරුවාගේ පියා හෘදයාබාධයකින් මියගිය අතර දරුවාගේ මව කුඩු විකුණා රිමාන්ඩ් වී සිටී. කුඩා දරුවා ලොකු අම්මා භාරයේ රැඳෙන අතර එම දරුවා අපහරණය කරන ලද වධකයා ලොකු තාත්තාය. වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මේ තිරිසනා රිමාන්ඩ් භාරයට පත්කොට තිබේ. කුඩා දරුවා රිජ්වේ රෝහලට යවා ඇත. ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් ළමා අපහාරක රාජ්‍යයක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ආරක්‍ෂාව පතා රජයේ සංවිධාන දෙකක් තිබේ. ඒ පළමුවැන්න පොලිසියයි. පොලිස් දෙපාර්තමේන්තුව වැඩිහිටියන් සම්බන්ධයෙන් කවර කුපාඩිකමක් කළත් ළමයින් සහ දූෂණයට පත්වූ තරුණියන් සම්බන්ධයෙන් ඉතාම යුක්තිසහගත ලෙස ක්‍රියාකරන බව අපි දනිමු. අත්අඩංගුවට පත්වන සැකකරුට පහරදීම තහනම් නමුදු පොලිසිය ස්ත්‍රී දූෂණ සැකකරුට නොවරදවාම පහර දෙයි. එයට හේතුව ඒ සැකකරු අධිකරණය ඉදිරියේදී සාක්‍ෂි මදිකමින් නිදහස් වීමට ඉඩ ඇති බැවිනි. එනිසා දෙන සැපක් පොලිසියේදීම දීමට රාළහාමිලා කැමති ඇති. සමහර විට සැකකරු කළ වරද රිමාන්ඩ් සිරකරුවන් දන්නේ නම් එතැනදීද හොඳ මසාජ් එකක් සැකකරුට ලැබේ. ළමයින් සුරැකීමට තිබෙන අනික් රාජ්‍ය ආයතනය වන්නේ ළමා හා කාන්තා කාර්යාංශයයි. මේ ආයතනය ඉතා අඩු පහසුකම් මැද්දේ පවත්වාගෙන යන්නකි. අවශ්‍ය තරම් පොලිස් නිලධාරීන් හෝ නීතිඥයන් නැතිකමින් මේ ආයතනය ලොකු දුෂ්කරතාවලට පත්ව ඇත. එහෙත් එහි සිටින නිලධාරීහු තුවක්කුවෙන් කළයුතු වැඩ පැන්සලෙන් හෝ කරමින් ඉදිරියට යති. 2020දී ශ්‍රී ලංකාවේ ළමයින් සම්බන්ධයෙන් කරන ලද සමීක්‍ෂණකදී හෙළිවී ඇත්තේ බාලවයස්කරුවන් දූෂණය කිරීම් 1292ක් සිදුවී ඇති බවය. 2021දී මේ දූෂණ ප්‍රමාණය 1304ක් විය. 2020දී සිදුවූ ළමා දූෂණ 1292න් හරියාකාරව හෙළිදරව් වූයේ සිදුවීම් 9ක් පමණකි. ළමයකු දූෂණය කළ විට එය ඔප්පුකර ගැනීම ඉතා දුෂ්කරය. පොලිසියේදී දෙන කටඋත්තරය ළමයාට පැටලේ. සමහරවිට අද කියන දෙය මේ පොඩිඑකාට හෙට මතක නැත. විත්තියේ නීතිඥයෝ එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිති. අධිකරණයේ යුක්තිගරුකභාවය නොතිබෙන්නට මේ රටේ ළමා අපහාරකයන් වැඩිදෙනකු නිදහස් වන්නේය. එහෙත් අධිකරණය බොහෝ අවස්ථාවලදී ඉතා සියුම් ලෙස සහ ඉතා උපායශීලී ලෙස කටයුතු කර අපරාධකරු කොටුකර ගනී. ඇතැම් සිදුවීම්වලදී ස්ත්‍රී දූෂකයන් වෙනුවෙන් පෙනී නොසිටීමට තරම් මේ රටේ නීතිඥවරු ත්‍යාගශීලී වෙති. උදාහරණයක් වශයෙන් සමූහ දූෂණයට ලක්කර මරා දමන ලද යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරිය පිළිබඳ නඩුවේදී විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් නොවීමට යාපනය නීතිඥ සංගමය තීරණය කළේය. විද්‍යා දූෂණය කරනු ලබන්නේ 2015දී ය. එවිට ඇයගේ වයස අවුරුදු 18කි. මේ සිද්ධිය හෙළිදරව් කරගැනීමේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විශාල සේවයක් කළේය.

මේ රටේ ළමා අපචාර සිද්ධීන් යටගිය අවස්ථා දෙකක් තිබේ. ඉන් පළමුවැන්න කොරෝනා ලොක් ඩවුන් අවදියයි. මේ වකවානුවේදී ගෙවල් තුළ සිටි දරුවන් විශාල ප්‍රමාණයක් සිය මාමලා, බාප්පලා සහ ඥාති සහෝදරයන් අතින් ලිංගික අපහරණයට ලක්වූහ. එහෙත් රටේ මතුව තිබූ හදිසි තත්ත්වය නිසා එම සිද්ධීන් වාර්තා වුණේ නැත. ඊළඟට අරගල සමයේදී හටගත් ළමා ලිංගික අපහරණ ද යටපත් විය. මේ අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. යුද්ධයක් පවතින සෑම රටකම ඉස්මතු වන්නේ යුද්ධයට අදාළ අපරාධ මිස වෙනත් අපරාධ නොවේ. එවැනි කාලවලදී ළමයා යනු අවලංගු කාසියකි. මේ අවලංගු කාසියට හැමදාමත් අවලංගු තත්ත්වයේ පසුවීමට ඉඩ නොදිය යුතුය. කුඩා දරුවා ජලය පිරි බේසමක තබා වධයට ලක්කළ තිරිසන් ලොකු තාත්තා සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීම පොලිසියේ මානුෂීය යුතුකම වන්නේය.

දාරළුවේදී කපා දමන ලද පඬුකරඳ ගස පටක රෝපණ ක්‍රමයේදී දහස් ගණනින් උපදවා ගත හැකිය. එහෙත් ළමයකුගේ සිතක් කැඩුණු විට එය ගොඩදැමීමට කාටවත් බැරිය.

advertistmentadvertistment
advertistmentadvertistment