කෙමිකල් ගිනි

465

පවතින වියළි කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ ඇතුළු විවිධ ප්‍රදේශවල ලැව් ගිනි හට ගනිමින් තිබෙන්නේය. එහෙත් අපේ රටේ වෙනත් රටවල මෙන් ලැව් ගිනි හට නොගනී. කුමන හෝ මිනිහෙකුගේ වුවමනාවක් අනුව ඇතිවන මෙම වර්ගයේ ගිනි කෙටි කාලයකින් නිවා ගැනීම කළ හැකි වුවද එමගින් සිදු වන පරිසර හානිය සුළුපටු නොවේ. කෙසේවෙතත් මෙම ප්‍රාථමික ගිනි ගැනීම් ගැන අපට ඒ හැටි උනන්දුවක් නැත්තේ කිහිප වතාවකදීම එල්ටීටීඊ ත්‍රස්තවාදීන් බෝම්බ දා අවුලුවා ලූ ගිනි ගැන සලකා බැලූ විටය.

එහෙත් උන්ට එරෙහි යුද්ධය අවසන් වූ පසුත් අප යළිත් දඩ දඩ ගා ගැහෙන පිපිරීමක් සිදුවූයේ යුද හමුදාවට අයත් වූ කොස්ගම පිහිටි සාලාව අවි ගබඩාව විනාශ වනු දැකීමෙන්ය. යහපාලන සමය තුළ සිදු වූ මෙම ගිනිගැනීම ඇතැමෙක් දේශපාලන කෝණයකින් විග්‍රහ කළද එතැනද වූයේ ජනාකීර්ණ ප්‍රදේශයක බරපතළ ගණයේ අවි ගබඩා කර තිබූ එහි පිපිරීමක් සිදු වුවහොත් විය හැකි විනාශය මෙපමණ වේ යැයි කලින් තක්සේරු නොකිරීමය. සාලාව අවි ගබඩාව මෙන් නොව හිටි හැටියේ දැන් ෆැක්ටරි ගිනි ගැනීමට පටන් ගෙන තිබේ. සේෆ්ටි ෆස්ට් යැයි මේ ෆැක්ටරි තුළ ලොකුවට ගසා තිබුණත් එහි ඇති සේෆ්ටියක් නැති බව ඒවා ගිනි ගත්තායින් පසුව කියැවෙන කතා ඔප්පු කර පෙන්වයි. අපේ රටේ මුහුදු සීමාවේදී ගිනි ගත් පර්ල් එක්ස්ප්‍රස් නැව නිසා සිදු වූ විනාශය අති බිහිසුනු වර්ගයේ එකකි. එයින් මුහුද ට මෙන්ම ගොඩ බිමටද දැනෙන හානිය තවත් වසර දහයක්වත් කාලයකට දිවයනු ඇත.

මේ අතරේ රට අභ්‍යන්තරයේ ඇති කර්මාන්ත පුරයන් හි පවතින ඇතැම් ෆැක්ටරි හදිසියේම ගිනී ගනී. පුපුරයි. ඒවා නිවා ගන්නටද අපහසුය. පහුගිය අටවෙනිදා කඳානේ පිහිටි රසායනික ද්‍රව්‍ය සහිත ෆැක්ටරියක් මේ ආකාරයට ගිනි ගත්තේය. එහි ගණකාධිකාරි ද ගින්නෙන් මරුමුවට පත් විය. ඊට අමතරව ඉන් ඇති වූ විෂ දුම නිසා පාසල් දරුවන් දෙසීයකට පමණ රෝහල්ගත වීමටත් සිදු විණ. ඉන් පසුව පෙරේදා රාත්‍රියේ හෝමාගම කර්මාන්ත පුරයේ ෆැක්ටරියක ගින්නක් හටගෙන තිබිණ. මෙම කර්මාන්ත කලාපය හෝමාගම ජනාකීර්ණම ප්‍රදේශයක පිහිටුවා ඇති අතර කිලෝමීටර් දෙකකට ආසන්න ප්‍රදේශයක විහිද පවතී. රසායනික ද්‍රව්‍ය මෙන්ම ඇඟලුම් ෆැක්ටරියක් ද වන එහි ඇති වූ ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ හතක් උපයෝගි කරගෙන තිබිණ. එදින රාත්‍රී 8.30ට පමණ හටගත් ගින්න මැඬලීමට කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ හොරණ නගර සභාවේ ගිනිනිවන රථ 07ක් යොදවා තිබූ අතර පනාගොඩ යුද හමුදා කඳවුරේ ගිනිනිවන ඒකකයේ රථ ද යොමුකර තිබුණි. එම ෆැක්ටරිය තීන්ත මෙන්ම රෙදි පිළි නිෂ්පාදනාගාරයක් බව කියවේ. ගින්න පාලනය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය දැක්වීමට යුද හමුදා කණ්ඩායමක් යොමු කර තිබිණ. හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගින්නෙන් විනාශ වූ ගබඩාවේ රසායනික ද්‍රව්‍ය තබාගැනීමට බලපත්‍රයක් ද ලබාගෙන නොමැති බව මේ වනවිට අනාවරණය වී තිබේ. එම ගින්නෙන් විෂ වායු, වායුගෝලයට සහ ජලයට එක්වීමෙන් අවට පරිසරයට හානි සිදුව ඇත. මිනිස්සු ජීවත්වන ස්ථාන අස්සේම මෙවැනි ගබඩාවලට අවසර දුන් නොහොඹිනා බලධාරීන් කවුරුන්ද? අප අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නේ ද නැත. මෙවැනි ෆැක්ටරි හිතු මතයේ ජනයා ගැවසෙන ඔවුනට හානි දායක බිම් කොටස් වල අටවනවා වෙනුවට ජනයා පදිංචි නැති බිම් කොටස්වල මුලින්ම ස්ථානගත කළ යුතු වේ. ඒවායෙන් සිදු වන අන්තරාය ගැන නිරන්තරයෙන් සොයා බැලීමක් කළ යුතුය. නමුත් මේ සරල දේ ගැන අවබෝධයක් අපට ඇත්තේ වුවද පාලකයන්ට ඒ ගැන වගේ වගක් නොමැත්තේය. හෝමාගමින් බුර බුරා නැගුනු ඒ ගින්න තවත් අලුත් තැනකින් මතු වන්නට ඒ හැටි කාලයක් නොයනු ඇත. ඒ ආකාරයේ ෆැක්ටරි ජනයා ශුන්‍ය පළාත්වලට උස්සා ගොස් හෝ දැමිය යුතු කාලය පැමිණ බොහෝ කල් ඉක්ම ගොසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment