අප ජීවත් වෙමින් සිටින වර්තමාන කාලවකවානුව හෙවත් ක්‍රිස්තු වර්ෂ ආරම්භ වීමට පෙර, එසේත් නැතිනම් ක්‍රිස්තුස්වහන්සේ ඉපදීමට අවුරුදු 500කට පෙරයි බුදුන් වහන්සේ ජීවත්වී තිබෙන්නේ. එකල පැවති රාජකීයන්ගේ භාෂාව හා බ්‍රහ්මනිකයන්ගේ ශුද්ධවූ ආගමික භාෂාව සංස්කෘත භාෂාව විය. සිද්ධාර්ථ කුමාරයා ද සංස්කෘත භාෂාව හැදෑරූ බවට කිසිදු සැකයක් නැහැ. රාජකීය ගිහි ගෙය අතහැර ගොස් සිය ආධ්‍යාත්මික අභිලාෂය මුදුන් පමුණුවා ගත් සිද්ධාර්ථ තාපසයා හෙවත් බුද්ධ, සිය දේශනා සඳහා භාවිතා කළේ මගධ දේශයේ ව්‍යවහාර වූ භාෂාවයි. එය කථන භාෂාවක්ව තිබුණි.

මගධයේ පැරණි භාෂාව, පාලි භාෂාවේ පැරණි ස්වරූපය ලෙස ඇතැම් විද්වතුන් පිලිගනු ලැබේ. සංස්කෘත භාෂාව ප්‍රභූ භාෂාවක් වගේම සංස්කෘත ස්තෝත්‍ර කුල හීන මිනිසුන්ට ශ්‍රවණය කිරීම එකල තහනම් වී තිබුණි. සංස්කෘත දේව ස්තෝත්‍ර ශ්‍රවණය කළහොත් කුලහීනයන්ගේ කන්වලට ඊයම් උණුකර වත්කිරීම වැනි දඬුවම් තිබුණු බව වාර්තා වේ. සිය ප්‍රධාන දේශනා සඳහා බුදුන් වෙනත් භාෂාවක් යොදාගැනීමට මෙයත් හේතුවක් විය හැකියි. නමුත් බුදුන් එකල භාවිතයේ තිබූ විවිධ භාෂාවලින් කතා කළ බවට සැකයක් නැහැ. බුදුන්ගේ ශ්‍රාවකයන් වූ පස්වග මහණුන් වගේම සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කාශ්‍යප, අනුරුද්ධ හා ආනන්ද වැනි අය පැවිදි ජීවිතයට පෙර භාෂා ශාස්ත්‍ර හදාළ ඉහළ පංතිකයන්ය. මේ සියලු දෙනාටම සංස්කෘත භාෂා ව්‍යවහාර හැකියාව නොතිබුණේ යැයි සිතිය නොහැකියි. ඒ වගේම බුදුන් මුණගැසීමට පෙර මේ සියලු දෙනාම සිය ශාස්තෘ සිද්ධාර්ථ මෙන්ම පැරණි බ්‍රහ්මණ හෝ හින්දු ආගමික පවුල්වලින් පැමිණි අයයි. එකල විවිධ ආගම් 62ක් පැරණි ඉන්දියාවේ තිබූ බව සඳහන් වේ. බුදුන්වහන්සේ දේශනා පවත්වා ඇත්තේ උතුරු ඉන්දියාවේ මගධ හා කෝසල රාජධානි ප්‍රධානව ප්‍රදේශයෙන් ප්‍රදේශයට පා ගමනින් ගමන් කරමිනි. මෙය ඉන්දියාවේ ඓතිහාසික වාර්තා හා පුරාවිද්‍යාත්මක සාධක අනුව තහවුරු වී ඇත.

නමුත් බුදුන් වහන්සේ ඍධි බලය හා ප්‍රාතිහාර්යය හරහා ගමන් කළ බවට වූ මිත්‍යා ප්‍රබන්ධ ගොඩනඟා තිබේ. ඒ අනුව පුරාණ ලක්දිවට ද වැඩම කළ බවට ජනප්‍රවාද ගොඩනැඟී ඇත.

බුදුන් ජීවත්ව සිටි කාලයේම දේශනාවල ඇතැම් කරුණු පිළිබඳව සිය ශ්‍රාවකයන්ගෙන්ම සංශෝධන හා යෝජනා ඉදිරිපත්වූ බව වාර්තා වේ. උදාහරණයක් ලෙස දක්වතොත් දේවදත්ත භික්ෂුව හින්දු දහමේ තිබූ ඇතැම් ශික්‍ෂා පද භික්ෂූන් වෙත පනවන ලෙස බුදුන්ට ඇවිටිලි කොට තිබුණි. නමුත් බුදුන් ඒවා පිලිගෙන තිබුණේ නැත. බුදුන්ගේ පරිනිර්වානයත් සමග ධර්ම සංඝායනාවක් ප්‍රථමවරට පැවැත්වීමට සිදුවන්නේ ඒ වනවිටත් බුදුන් දේශනා කළ කරුණු විකෘති වී තිබුණ හෙයිනි. පළමු සංඝායනාවට අනුග්‍රහය දැක්වූයේ අජාසත්ත රජු විසිනි. මේ කාලය ක්‍රි.පූ. 492 සිට 460 දක්වා හෝ ක්‍රි.පූ. 5 වැනි සියවසේ මුල් භාගය ලෙස ගණනය වේ. මෙහි මූලාසන ගෙන තිබුණේ මහා කාශ්‍යප තෙරුන් විසිනි.

බුදුවරයකුගේ ලක්ෂණ

විවාදයේ අති දක්‍ෂයකු හා ඒ වනවිට ගොඩනැඟී තිබූ ග්‍රීක දර්ශනවාදයේ කෙලපැමිණියකු වූද ඉන්දු ග්‍රීක් රජ කෙනෙක් වූ මිලින්ද රජු (ක්‍රි.පූ. 160-135) හා නාගසේන භික්ෂුව අතර පැවති ධර්ම විවාදයට අනුව බුදුවරයකුගේ ලක්ෂණ මෙසේ අර්ථ දක්වා ඇත. ‘අතීත, වර්තමාන සහ අනාගතයේ සෑම දෙයක්ම නිවැරදිව දැකීම;. ක්‍රියාවේ, කථනයේ සහ චින්තනයේ යෝග්‍යතාවය. අනුන් විසින් කලකිරීමට හා අධෛර්යට පත්කළ නොහැකි වන පරිදි පහත සඳහන් දේ පිහිටුවීම: චේතනාව, ධර්මය, සමාධිය, අල්පේච්ඡ පැවැත්ම, විමුක්තිය සහ ප්‍රඥාව. පහත දෑ වළක්වා ගැනීම: විනෝදය හෝ සමච්චලයට ආරාධනා කළ හැකි ඕනෑම අවස්ථාවක් මෙන්ම සහ ආරවුල් වළක්වා ගැනීම. සර්වඥතා ඥානය පවත්වා ගැනීම. එනම් සෑම දෙයක්ම සම්පූර්ණ සිහියෙන් සහ යම් අරමුණකින් කිරීම. නුවණැතිව සිටීම හා පක්ෂග්‍රාහීත්වයෙන් කිසිවක් නොකර සිටීම.” බුද්ධකාය සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ මෙන් හම, මස්, නහර, ඇටකටු, රුධිරය හා සෙම යන ධාතූන්ගෙන් සෑදී ඇතැයි නාගසේන භික්ෂුව මිලින්ද රජුට විස්තර කරන අතර බුදුන්ගේ පුරෝකථන අනුව උන්වහන්සේගේ දහම එහි ආරම්භක ස්වරූපයෙන් ආරක්ෂාකාරීව පවතින්නේ වසර 500ක් ලෙස ද විස්තර කර තිබේ.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු ආදාහන පූජෝත්සවය අවසානයේ බුදුන්ගේ රූපය (රූපකාය) නැතහොත් බුදුන්ගේ භෞතික ස්වරූපය මේ ලෝකයෙන් අතුරුදන් විය. බුදුන්ට ගෞරව කිරීම සඳහා, සෑයේ අළු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල තැන්පත් කරන ලද අතර කරඬුවල දැමූ භෂ්මාවශේෂ යටවන සේ ඒ වටා සරල පස් කන්දක් ලෙස ස්මාරක ඉදිකර ඇත. මියගිය විශේෂ අයට ගෞරව දැක්වීම ඉන්දියාවේ දිගුකාලීන සම්ප්‍රදායකි. බුදුන් වහන්සේ වෙනුවෙන් ද අනුගමනය කර ඇත්තේ එම සම්ප්‍රදායයි. බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසු ධාතූන් පිළිබඳ මිත්‍යා අදහස් ද ව්‍යාජ ධාතූන් ද පැතිරී පවතී.

බුදුන්ගේ ඉගැන්වීම් වන ධර්මයට (ධර්මකායට) හා බුද්ධ රූපයට ගරු කිරීම සඳහා මෙන්ම නියෝජනය කිරීම හා අර්ථ නිරූපණය පිනිස විවිධ දෘශ්‍ය සංකේත බුද්ධ පරිනිර්වාණයෙන් පසු යොදාගැනීමට පෙළඹී ඇති බව පෙනේ. මෙසේ යොදාගත් සංකේත මේ කාලයට පෙර සිට ස්ථාපිතව තිබූ පැරණි වෛදික හා රාජකීයන්ගේ සංකේත යි. මෙයින් වඩාත් වැදගත් වන්නේ ‘කුස’ නමැති තණකොළ මිටි කිහිපයක් බෝ ගස යට අතුරා ඒ මත වාඩිවී ධ්‍යාන මාර්ගයෙන් බුද්ධත්වයට පත් වූ පසුව දෘශ්‍ය කලාවේදී හින්දු දෙවිවරුන් හා රජවරුන් වැනි ප්‍රභූන් අසුන්ගන්නා වජ්‍රාසනයක් හෝ සිංහාසනයක් බුදුන්ට පසුකලෙක ආදේශ කිරීමයි.

‘අර්හත්’ ධර්මයේ වෙනස්කම්

දෙවන බෞද්ධ භික්ෂු සභාව හෙවත් සංඝායනාව නේපාලයට මායිම්ව, උතුරු ඉන්දියාවේ වර්තමාන බිහාර් ප්‍රාන්තයේ පැරණි නගරයක් වන වෛශාලි හි, කාලාශෝක රජුගේ අනුග්‍රහය යටතේ (ක්‍රි.පූ. 395- 367 පමණ) පැවැත්විණි. එය සිදුවන්නට ඇත්තේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවසකට මදක් වැඩි කාලයකට පසුවය.

දෙවන බුද්ධචරිතය වීර කාව්‍යක ස්වරූපයෙන්

මොග්ගලීපුත්තතිස්ස භික්ෂුවගේ ප්‍රධානත්වයෙන් තුන්වැනි සභාව අශෝක අධිරාජ්‍යයාගේ පාලන සමයේදී රාජධානියේ අගනුවර වන පාඨලීපුත්‍ර (නූතන පට්නා) හිදී පැවැත්විණි. එය ක්‍රි. පූ. 247 දී පමණ සිදු වූ අතර එය ථෙරවාදී රැස්වීමකට සීමා වන්නට ඇත. මේ සංඝායනාවලදී විවිධ කරුණු හා පිළිවෙත්වල විරෝධතා මතුවී තිබුණි. ලුනු ගබඩා කිරීම, නියමිත වේලාවෙන් පිටත ආහාර ගැනීම හෝ හිඟාකෑම වැනි ගැටලු මෙහිදී මතුවී තිබේ. රන් රිදී දාන පිළිගැනීම මෙන්ම කෙනකුගේ ක්‍රියාවන් සඳහා ඉන් පෙර පූර්වාදර්ශ භාවිතා කිරීම වැනි කරුණු පිළිබඳ මතබේද සාකච්ඡාවට ගෙන තිබේ. මහාසාඝිකයින් සහ ථෙරවාදීන් අතර ඇති වූ භේදය පිළිබඳ වාර්තාවල ‘අර්හත්’ ධර්මයේ වෙනස්කම් ද අවධාරණය කර තිබුණි. මෙලෙස ඇදී ගිය නිකාය බේදය හතර වන ධර්ම සංඝායනාවක් දක්වා ඇදී ගොස් තිබේ. ථෙරවාදීන් පාලි භාෂාව භාවිතා කළ අතර මහායානිකයන් සංස්කෘත භාෂාව භාවිතා කළහ. මේ කණ්ඩායම් දෙක අතර භාෂාව පිළිබඳ ගැටුමක්ද පැවතිණි.

සර්වාස්තිවාදී සම්ප්‍රදාය හෙවත් මහායානයට බර සිව්වන බෞද්ධ සභාව කුෂාන අධිරාජ්‍යයා වූ කණිෂ්ක විසින් කාශ්මීරයේ කුණ්ඩල්වාන විහාරයේ කැඳවන ලද බව කියනු ලැබේ. මෙම සංඝායනාවේ මූලික ප්‍රතිඵලය වූයේ සර්වාස්තිවාදීන් අභිධර්මයේ කොටසක් පිළිබඳ සවිස්තරාත්මක සම්පාදනය සහ විමර්ශන කෘතියක් වන‘මහාවිභාෂා’ හෙවත් ‘මහා විග්‍රහය’ සම්මත කරගැනීමයි. මේ සඳහා ථෙරවාදී භික්ෂූන්ට ආරාධනා කර නොතිබුණි.

‘බුද්ධ චරිත’ කණිෂ්ක අධිරාජ්‍යයාගේ පාලන සමයේදී ගන්ධාරයේදී සංඝරක්ෂක නම්වූ භික්ෂුවක් විසින් බුද්ධ චරිතයේ පළමු චරිතාපදානය ලෙස ලියා ඇත. දැනට පවතින්නේ මෙහි චීන පරිවර්තනය පමණි. බුදුන් වහන්සේගේ ජීවිතය පිළිබඳව ලියා ඇති දෙවන බුද්ධ චරිතය වීර කාව්‍යක ස්වරූපයෙන් ලියා ඇත්තේ මහායාන බෞද්ධ භික්ෂුවක්, දාර්ශනිකයෙක්, නාට්‍යකරුවකු, කවියකු සහ කථීකයකු වන අශ්වඝෝෂ (ක්‍රි.ව. 80-150) භික්ෂුව විසින් අද වන විට අයෝධ්‍යාව ලෙසද හැඳින්වෙන සාකේතයේ සිටය.

සංස්කෘත මහායාන සූත්‍රයක් වන ‘ලලිත විස්තර සූත්‍රය’ බුදුන් වහන්සේ පිළිබඳ තොරතුරු ඇතුළත් ඉතා සවිස්තරාත්මක ලේඛනයකි. එය ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසට අයත් වේ. ලලිතවිස්තරයේ දැක්වෙන්නේ බුදුන්ගේ අවසාන අවතාරය වන ගෞතම බුදුන් වහන්සේ තුෂිත දෙව්ලොව සිට බරණැස අසල සාරානාත්හි මුව උද්‍යානයේ බුදුන්ගේ පළමු දේශනාව දක්වා විචිත්‍රව මිත්‍යා වර්ණනා සහිතව ඉදිරිපත් කිරීමකි. මහාවස්තු (මහා සිදුවීම හෝ මහා කතාව), සංස්කෘත සූත්‍රයක් ක්‍රි. පූ. දෙවන වන සියවස සහ ක්‍රි. ව. හතරවන සියවස අතර ලියා ඇති බවට විශ්වාස කෙරේ. බුදුන් වහන්සේ පිළිබඳ තොරතුරු මෙන්ම උන්වහන්සේගේ පෙර ජීවිත, ජාතක සහ අනෙකුත් බෝධිසත්වයන් පිළිබඳ කථා ද එහි අඩංගු වේ. මෙය ඉපැරණි හින්දු පුරාණයේ එන දේව කතන්දර ආභාෂය බුද්ධ චරිතයට ගෙන එන ලද්දක් බව පර්යේෂකයන්ගේ පිලිගැනීමයි.

මහායානික නිකායේ භික්ෂූන්ගේ මේ ලේඛනවලට සමගාමීව හා තරගකාරීව ථෙරවාද සූත්‍ර ද බුදුන් පිළිබඳ වර්ණනාත්මක සහ ඇදහිය නොහැකි විචිත්‍ර මිත්‍යාවන්ගෙන් හැඩගැන්වුණු බව පෙනේ. මෙය බුද්ධ කාලයේ තිබූ ඉපැරණි බුදු දහමේ ස්වරූපය ප්‍රබන්ධ තලයකට ගෙනයෑමකි. එමෙන්ම මුල් සරල ස්වරූපය වර්ණනාත්මක තලයකට මාරු වීමකි. තිබෙන වාර්තා අනුව ‘බුද්ධ’ යන නාමය එකල තිබූ සමාජයෙන් ආරෝපණය කරන ලද්දකි. බුදුන් සිය පැවිදි ජීවිතයට පෙර රාජකීය කුමාර ජීවිතය ගැන කීමේදී තමා හැඳින්වීමට ‘බෝධිසත්ව’ යන වචනය පළමුවෙන්ම භාවිතා කොට තිබේ. බුදු වීමෙන් පසුව සිය ජීවිතය බුදුන් හඳුන්වා ඇතිතේ ‘තථාගත’ යනුවෙනි. තවද තමා සාක්ෂාත් කළ ආධ්‍යාත්මික තත්ත්වය බුදුන් හඳුන්වා ඇත්තේ ‘අරහත්’ යනුවෙනි.

ජෛන ආගමේද ‘අරහත්’ තත්ත්වය ආධ්‍යාත්මික ඉහළ ස්ථානය ලෙස පිලිගනු ලැබේ. ගෞතම බුදුන්ට පසුව මෙලොව අනාගතයේදී මෛත්‍රී යනුවෙන් මනුෂ්‍ය බුදුවරයකු පහළවන බවට පැරණි ථෙරවාදය තුළ සංකල්පයක් ගොඩනඟා තිබුණි. මෙම අංකුර අදහස මහායානය විසින් වැඩිදියුණු කරමින් මෛත්‍රියද සමග බෝධිසත්ව මණ්ඩලයක් නිර්මාණය කරන ලදි. ඒ අතරින් මන්ජුශ්‍රී හා වජ්රපානි ජනප්‍රිය වන්දනාවන් විය. අශ්වඝෝෂට පසු මහායානයේ මූලාචාරීන් වන්නේ නාගර්ජුන, අසංග, වාසුබන්දු, චන්දකීර්ති, ධර්මකීර්ති, සාන්තිදේව වැනි මූලාචාරීන්ය.

අරහත්භාවය සාක්ෂාත් කිරීම වෙනුවට බෝධිසත්ව තත්ත්වයට ළඟාවීම මහායානයෙන් යෝජනාවී ඒ සඳහා සූත්‍ර ලිපි ලේඛන සම්පාදනය විය. එනම් මහායානය කේන්ද්‍ර වන්නේ බෝධිසත්ව සංකල්පය සඳහාය. මහායානය බිහිවීමෙන් පසු එහි අතුරු ශාඛා ලෙස වජ්රයානය, තන්ත්‍රයානය, මන්ත්‍රයානය ආදී වශයෙන් තවත් ප්‍රභේද උත්පාදනය විය.

බුදු දහම දෘෂ්ටිවාදයක් ලෙස පිලිගත් රටවල ඊට පෙර පැවති ඇදහිලි විශ්වාස වන්දනා ක්‍රමද බුදු දහමට එකතුවිය. කැපීපෙණෙන උදාහරණ ලෙස දක්වතොත් ජපන් බුදුදහම සහ ටිබෙට් බුදුදහම මෙයට සාධක සපයයි.

ඉපැරණි හින්දු පුරාණයේ විශ්ව ශාස්ත්‍රයේ (Hindu Cosmology) ආභාෂයෙන් මහායාන ආචාර්යවරුන් විසින් විශ්වය කොටස් පහකට වෙන්කොට ඊට අධිපති දිව්‍ය බුදුවරුන් පස්දෙනෙක් ආදේශ කළහ. මේ බුදුවරු මනුෂ්‍ය බුදුවරු නොවන අතර මිත්‍යා කතන්දරවල මෙන් නිර්මිත දිව්‍යමය බුදුවරු වූහ. මෙම නිර්මිත බුදුවරුන් ‘පන්චතථාගත’ හෝ ‘ධ්‍යාන බුද්ධ’ යනුවෙන් හඳුන්වා ඇත.

බුද්ධ අමිතාභ සඳහා පරිවාර බෝධිසත්වවරුන් දෙදෙනකු

එම බුදුවරු නම් උතුරු දෙසින් බුද්ධ අමෝඝසිද්ධි, නැගෙනහිරින් බුද්ධ අක්ෂෝභය, දකුණින් බුද්ධ රත්න සම්භාව, බටහිරින් බුද්ධ අමිතාභ හා මධ්‍යයෙන් බුද්ධ වෛරෝචන ලෙසින් ස්ථානගතකොට විශ්වය මෙලෙස කොටස් පහකට බෙදනු ලැබීය.

මේ බුදුවරුන් සියලු දෙනාට නිර්මිත පරිවාර බෝධිසත්වවරුන් ද ආදේශකර තිබේ. මෙය මහායාන බෞද්ධ විශ්වවාදයයි (Mahayana Buddhist Cosmology). මෙය මහායාන සහ තන්ත්‍රායන දෘශ්‍ය කලාව බිහිවීමට පදනම විය. මේවා ‘මණ්ඩල’ හෝ ‘තන්කා’ චිත්‍ර ලෙස හැඳින්වේ. මේ අනුව බුද්ධ අමිතාභගේ දිව්‍යලෝකය හඳුන්වන්නේ ‘සුඛාවතිය’ ලෙසිනි. බුද්ධ අමිතාභ සඳහා පරිවාර බෝධිසත්වවරුන් දෙදෙනකු මහායානයේ දක්වයි. මහස්ථමප්‍රාප්ත හා අවලෝකිතේෂ්වර මේ දෙදෙනායි. මහායානය හෙවත් උතුරු බුදුදහමේ ජනප්‍රියම බෝධිසත්වවරයා අවලෝකිතේෂ්වරය. හින්දු දේවපුරාණයේ දෙවිවරුන්ට ‘ශක්තීන්’ ලෙස දේවතාවියන් ආදේශ කළ පරිදිම මහායානය තුළ බෝධිසත්වවරුන්ට ආධ්‍යාත්මික සහයිකාවන් ද ආදේශ කරන ලදි. ඒ අනුව අවලෝකිතේෂ්වරගේ ආධ්‍යාත්මික සහායිකාව වන්නේ බෝධිසත්ව ‘තාරා’ ය.

මහායානයේ මෙම ප්‍රබන්ධීය කල්පිත සංකල්ප පදනම්ව ඉතා විශිෂ්ට මූර්ති කලාවක් බිහිවිය. අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් පිළිබඳව සඳහන්වන පැරණිම සූත්‍රය වන්නේ මහා සුඛාවතී සූත්‍රයයි. මෙය සංස්කෘත භාෂාවෙන් චීන භාෂාවට පරිවර්තනය වී ඇත්තේ ක්‍රි. ව. දෙවන ශතවර්ෂයේය. ඉන්පසු ලියැවුණු මහායානයේ බොහෝ සූත්‍රවල බෝධිසත්ව අවලෝකිතේෂ්වරගේ ගුණ වර්ණනා කර ඇත. මෙම සූත්‍ර අතර ‘අවලෝකිතේෂ්වර ගුණකරන්ද ව්‍යුහසූත්‍ර’ හා ‘සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය’ ප්‍රමුඛස්ථානය ගනී.

ඉන්දියාවෙන් පැනනැගුනු අවලෝකිතේෂ්වර සංකල්පය ආසියාවේ බොහෝ රටවල්වලට පැතිරගිය වන්දනා ක්‍රමයකි. ලංකාවේ පැරණි අනුරාධපුර යුගයේදී අවලෝකිතේෂ්වර වන්දනාව ඉතා ජනප්‍රියව තිබූ බව ලැබී තිබෙන මූර්තිමය සාධක අනුව සනාථ වේ. අවලෝකිතේෂ්වර මූර්ති විලාස 108 කි. පද්මපානි, මහාකාරුණික, සිම්හනාද ලෝකේෂ්වර, ඒකදස්සමුඛ මේවා අතරින් ප්‍රදානය.

පසුපසට ශිලා පර්වතයක් නොමැතිව තනි හිටි ප්‍රතිමාවක් ලෙස ලොව හමුවන විශාලම අවලෝකිතේෂ්වර මූර්තිය හමුවන්නේ ලංකාවෙනි. මොනරාගල දිස්ත්‍රික්කයේ, දඹේගොඩ, ඔක්කම්පිටිය අසල මෙය පිහිටා ඇත. එය උසින් මීටර් 10.4කි.

මෙවැනිම පර්වත ස්ථරයක් මත අර්ධ මූර්ති ලෙස නෙළා ඇති විශාල අවලෝකිතේෂ්වර ප්‍රතිමා දෙකක් කුෂ්ටරාජගලින් හා බදුරුවගලින් හමුවේ. මෙවැනිම කුඩා ප්‍රමාණයේ ලෝකඩ මූර්ති ගණනාවක්ද ලංකාවෙන් හමුවේ. මේවා අතර දැනට කොළඹ කෞතුකාගාරයේ තිබෙන රන් ආලේපිත, වේරගල අවලෝකිතේෂ්වර බෝධිසත්ව ප්‍රතිමාව කලාත්මක අතින් ලොව ප්‍රකටය.

බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ ඇති සුප්‍රකට රන් ආලේපිත බෝධිසත්ව තාරා ප්‍රතිමාවද ලංකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයෙන් සොයාගෙන යටත්විජිත සමයේදී ගෙනයන ලද අතර ලෝකයාගේ කලා ඇගයීමට පාත්‍රවූ මූර්තියකි. මේ දෙකම වැඩිදෙනෙක් තක්සේරු කරන්නේ අනුරාධපුර පශ්චාද් යුගයට අයත් බවයි. රචකයා තක්සේරු කරන්නේ මේවා සීගිරියේ මූර්ති සම්ප්‍රදාය ලෙස පස්වන හයවන සියවස්වලට අයත් වන බවයි.

පැරණි ලෝකයේ නාවිකයන් අතර අවලෝකිතේෂ්වර වන්දනාව තදින් තිබූ බව විද්වතුන් විසින් පිලිගනු ලැබේ. ලංකාවද සේද මාවතේ නාවුක මධ්‍යස්ථානයක් ලෙස අවලෝකිතේෂ්වර වන්දනාවට නිජබිමක් වූ බව සිතිය හැකිය. ‘අවලෝකිතේෂ්වර ගුනකරන්ද ව්‍යුහසූත්‍රයේ’ අවලෝකිතේෂ්වරට ලංකාද්වීපය සමග ඇති සම්බන්ධතාවය ප්‍රබන්ධකර තිබේ. ‘වලාහස්ස ජාතකයේ’ වලාහස්ස නමින්වූ පියාඹන අශ්වයා අවලෝකිතේෂ්වරය. රචකයාගේ නිගමනය වන්නේ ඉසුරුමුනියේ මිනිසා සහ අශ්ව හිස මූර්තියේ මිනිස් රුව, වලාහස්ස ජාතකයේ එන සිම්හල නම් බෝධිසත්ව වෙළෙන්දා වන අතර අශ්ව වෙසින් දක්වා ඇතිතේ ‘වලහා’ නමින් හැඳින්වූ අවලෝකිතේෂ්වර ලෙසයි.

ඒ වගේම ලංකාවේ වයඹ වෙරළේ කුදිරමලේ තුඩුවේ තිබූ සහ විදේශීය නාවුකයන් විසින් වාර්තාකර ඇති දැනට විනාශවී ගොස් තිබෙන ඉදිරිපස දෙකකුල් ඔසවාගත් යෝධ අශ්වයා සහිත අසරුවා වලාහස්ස ජාතකයේ උද්වේගකර අවස්ථාවක් නිරූපණය කරන මූර්තියක් ලෙස රචකයා හඳුනාගෙන තිබේ. 1992 අවුරුද්ද වන විට ශේෂව තිබූ ගඩොල් සහ බදාම කොටස්වලින් මුහුදට පැනීමට සූදානම්වූ විලාසයක් දක්වන මෙම අශ්ව රුව අඩි 35ක් පමණ උස වෙතැයි ගණන් බලා තිබුණි. පැරණි සිංහල රජවරු බෝධිසත්වවරයකු ලෙස ස්වයංව ආරෝපණය වීම හා එසේ හැඳින්වීමට ඇති ප්‍රියතාවය නිසා බෝධිසත්ව වන්දනාවට රාජ්‍ය අනුග්‍රහය දැක්වූ බව සිතිය හැකිය. බෝධිසත්ව අවලෝකිතේෂ්වර සංකල්පය යනු ආධ්‍යාත්මික බවින් ඉහළ සමාධියක් අත්කරගත් රාජකීයකුගේ නිරූපණයකි.

මහාචාර්ය
සරත් චන්ද්‍රජීව
ඡායාරූපය – ගාමිණී ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment