ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම සිංගප්පූරුවට යළිත් පරදී

1042

15 සටනෙන් 16 ට වැටේ

ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ 15 වැනි ස්ථානය දිනා ගැනීම වෙනුවෙන් ඊයේ (04 වැනිදා) සිංගප්පූරුව සමග පැවැති තරගයෙන් පරාජයට පත් වූයේය.

එම තරගයෙන් සිංගප්පූරුව 49-46 ක් ලෙස ජයග්‍රහණය කළේය.

ඒ අනුව මෙවර තරගාවලියේ 16 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය.

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසානයේ ශ්‍රී ලංකාව 26-20 ක් ලෙස පෙරමුණේ පසුවුවද අවසානයේ සිංගප්පූරුව තරගය ජය ගත්තේය.

මෙම තරගාවලියේ සිංගප්පූරුව සමග පැවැති පළමු සටනේදී ද ශ්‍රී ලංකාව පරදවා 55-52 ක් ලෙස සිංගප්පූරුව ජය ගත්තේය.

පසුගිය වර පැවැති ආසියානු දැල් පන්දු තරගාවලියේ ශුරතාවය දිනූ ශ්‍රී ලංකාව එවර එහි අනුශූරියන් වූ සිංගප්පූරුව හමුවේ එකම තරගාවලියක දෙවරක් පරාජයට පත් වීම මේ අනුව වාර්තා විය.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක දී සිංගප්පූරුව හැර වෙනත් රටක් පරාජයට පත් කළ පළමු අවස්ථාව සටහන් කරමින් පසුගිය (02 වැනිදා) බාබඩෝස් ට එරෙහි තරගය ජයග්‍රහණය කළේය.

එය මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ පළමු සහ එකම ජයග්‍රහණය ද ලෙසින් සටහන් විය.

ජැමෙයිකාව, දකුණු අප්‍රිකාව, වේල්සය යන කණ්ඩායම් හමුවේ මූලික වටයේදී ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ දී පරාජයට පත් වූ අතර “ඊ” කාණ්ඩය යටතේ සිංගප්පූරුව සහ සිම්බාබ්බේ හමුවේ ද ලෙසින් එක දිගට තරග පහක් පරාජයට පත්වී සිටියේය.

තරගාවලියේ 15 වැනි කණ්ඩායම තේරීමේ තරගයෙන් ඊයේ යළි සිංගප්පූරුව හමුවේ පරාජය විය.

advertistmentadvertistment
advertistmentadvertistment