සිටිලීග් සභාපති කුසලාන පාපන්දු අවසන් මහා තරගය හෙට

75

සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය හෙට (6දා) කොළඹ පාපන්දු සමාජය හා මාලිගාවත්ත යූත් පිල අතර, පස්වරු 3.30ට සිටිලීග් පිටියේදී පැවැත්වෙයි. ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස හා ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගිවන මෙම අවසන් මහා තරගයට හිටපු ජාතික පාපන්දු නායකයන් හා ක්‍රීඩකයන් සහභාගි වීමට නියමිතය.

අවසන් මහා තරගයට පිවිසි කොළඹ පාපන්දු සමාජය මෑත කාලයේ ප්‍රධාන ශූරතා රැසක් දිනාගත් අතර, මාලිගාවත්ත යූත් පිල මෙවැනි තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත්තේ වසර 27කට පසුවීම විශේෂත්වයකි.

1996 වසරේදී පැවැති විජය කුමාරණතුංග පාපන්දු අවසන් මහා තරගයේදී මාලිගාවත්ත යූත් – සෝන්ඩර්ස් අතර තරගය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ඇති අතර, එහිදී ගෝල් 1-0කින් සෝන්ඩර්ස් පිල ජයග්‍රහණය වාර්තා කළේය.

සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේදී කොළඹ – මාලිගාවත්ත යූත් අතර තරගයෙන් ගෝල 3-1 ජයක් අත්කර ගැනීමට කොළඹ පාපන්දු සමාජය සමත් විය.

කොළඹ පාපන්දු පිලේ පුහුණුකරු ලෙස රූමි මොහොමඩ් මහතා කටයුතු කරන අතර, මාලිගාවත්ත යූත් පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා යුද හමුදා පිලේ හිටපු නායක මොහොමඩ් ඉසෙදීන් මහතා කටයුතු කරයි.

6 වැනි වරට පැවැත්වෙන සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට රු. 150,000ක් හා අනුශූරයන්ට රු. 100,000ක් පිරිනැමෙන අතර සෑම තරගයකම දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට තෑගි පිරිනැමීමට කටයුතු යොදා ඇත. සිටිලීග් පාපන්දු ලීගයේ සභාපති ආර්. පුවනේන්ද්‍රන් මහතාගේ පෞද්ගලික මුදලින් අනුග්‍රාහකත්වය සැපයේ.

advertistmentadvertistment
advertistmentadvertistment