බීජ අවුල

708

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පළමු වෙඩිල්ල පත්තු වූයේ කුඹුරෙනි. එය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ බැවින් ඔහුට අන්තිමට පුටුවද දමා පැන දුවන්නට හේතු වූයේය. හදිසියේම එය නැවතත් මතක් කර දීමට සිදු වූයේ මේ වනවිට රටේ පවතින්නේ අධික පෑවිල්ලක් පවතින බැවිනි. ඒ තත්ත්වය තුළ මේ වනවිට මධ්‍යම කඳුකරය පුරාවට ගිනි ගැනීම් ඇතිවීම දක්වා දරුණු වී තිබේ. එවැනි ගිනි ගැනීම් මේ වන විට තුන්සීයකට වඩා සිදුවී ඇති අතර ඒ හේතුවෙන් රක්ෂිත අක්කර දෙදහසකට විශාල හානියක් සිදු වී අවසන්ය. මෙම වියළි කාලගුණික තත්ත්වය රටේ ගොවිතැනට කෙළින්ම බලපානු ලබයි. වැසි නොමැති වාතාවරණයක් තුළ මණ්ඩලය ජල ගාස්තු ඉහළ දමා තිබීම පිළිබඳ අපි ඊයේ දින කතා කළෙමු.

මේ වන විට උඩවලවේ ජලාශය වෙත සමනලවැව ජලාශයෙහි වතුර ලබා දීම ගැන ද සුවිශාල ගැටලුවක් පැන නැගී ඇත්තේය. උඩවලවේ ජලාශයෙන් ජලය ලබා දීම නැවතී ගියහොත් ඒ ආශ්‍රිතව ගොවිතැන් කළ අක්කර හැටපන්දහසකට වතුර නැතිවී සම්පූර්ණයෙන්ම විනාශ වන්නේය. එම හානියෙන් ගොවිතැනට පමණක් වන හානිය රුපියල් බිලියන 18ක් බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගණන් බලා තිබේ. කෙසෙල් ඇතුළු අනෙකුත් බෝග වගාවන්ට සිදුවන එම හානිය රුපියල් බිලියන 30ක් පමණ වන්නේලු. සමනලවැවෙන් ගොවිතැනට අවශ්‍ය ජලය සම්පූර්ණ ලෙස සැපයුවහොත් දකුණු පළාතට පැය තුනක් හතරක් විදුලිය දීමේ ගැටලුවක් පැන නගින්නේය. මෙය කැබිනට් මණ්ඩලයේ ද දැඩි කතාබහට ලක්වී තිබිණ. මහින්ද අමරවීර සහ රොෂාන් රණසිංහ යන ඇමැතිවරුන් දෙදෙනා පමණක් ගොවිතැනට ප්‍රමුඛත්වය දෙන්නැයි කතාකොට කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අතරමග යන්නටද පුටුවලින් නැගිට ඇත. ඒ අතරේ මේ වන විට අපේ රටේ බීජ සම්බන්ධයෙන් පවතින ගැටලුව ඉතාමත්ව ඛේදජනකය. අපට බීජ පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇත්තේම නැති තරම්ය. ඒ අතරේ අපේ රටේ බීජ නිෂ්පාදනය ද අධික වියදම් සහිතය. පිටරටින් ගෙන්වන හයිබි්‍රඩ් බීජ ප්‍රබේද පිළිබඳ අපේ ගොවියන්ගේ විශ්වාසය දැන් දැන් වැඩි වශයෙන් තබා තිබේ. එහෙත් පිටරටින් ගෙන්වන බීජවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සහ ඒ ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් කිසිම නියාමනයක් නොමැතිවීම ද ගැටලුවක්ය. අපේ වී ගොවිතැනට අවශ්‍ය බිත්තර වී බොහෝවිට ලබා ගනුයේ කලින් අස්වැන්නෙන් ගත් කොටසක් ඊළඟ කන්නය තෙක් ගබඩා කරගෙන වතුර ඉස මුල් අද්දා ගැනීමෙන්ය. ඒවා හොඳම බිත්තර වී නොවේ යන්න තහවුරු වී හමාරය. මෙකී ක්‍රියාවලිය කන්න කිහිපයක් කරගෙන යද්දී එම බිත්තර වී වල සඵලතාව කෙමෙන් කෙමෙන් අඩු වන්නට ගනී. එහෙත් ඒ පිළිබඳ ගාණක් නැති ගොවීන් මැසිවිලි නගනුයේ මීළඟ පාර නම් කුඹුරු කොරන්නේම නෑ යැයි කියමිනි.

අපිට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිපදවනු ලබයි. ඒ ප්‍රධාන ගොවිපළ 11 කිනි. බිත්තර වී සම්බන්ධයෙන් පර්යේෂණ මට්ටමින් කරන ලද පර්යේෂණ ඇසුරින් ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් බිත්තර වී ලබා ගැනීමට හැකියාව පවතී. අපේ රටේ එවැනි මධ්‍යස්ථාන 564ක් ඇත්තේය. (අපේ රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇත්තේද 313 කි) ඒ ලෙස බැලූ කල ගොවි මධ්‍යස්ථාන ගත් කල ඒවායෙන් නියම සේවය වන්නේ නම් බත් කෑම ගැන අපට එතරම් බිය වන්නට දෙයක් නොමැති තරම්ය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නව පන්නයේ බීජයක් හඳුන්වා දෙනවිට ඒවායේ ගුණාත්මකභාවයට අමතරව පළිබෝධ උවදුරුවලට ඔරොත්තු දෙන පන්නයේ නව බීජ හඳුන්වා දේ. එලෙස අම්බලන්තොට වී පර්යේෂණායතනයෙන් මෑතකදී හඳුන්වා දුන් ඒටී-362 දරන නව විශේෂය වගා කිරීමෙන් හෙක්ටයාරයකින් ලබා ගත් සහල් ප්‍රමාණය කිලෝ එකොළොස්දහසකි. එය ගත් කල කලාපය තුළ ද ඉහළ වාර්තාගත තත්ත්වයකි. සාමාන්‍යයෙන් වී වගා කිරීමෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම චීනය විසින් සිදු කරනු ලබන අතර ඔවුන්ද හෙක්ටයාරයකින් ලබා ගනුයේ කිලෝ හත්දහසක තරම් ප්‍රමාණයකි. ඒ අනුව අප ලබා ගත් තත්ත්වය ගැන ඉතාම සතුටු දායකය. එහෙත් දැන් පවතින තත්ත්වයක් ගැන අපට කතා කරන්නට සිදුවී තිබේ. අපේ රටේ යාවජීව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කරන ලද කතාවක් හේතුවෙනි. ඔහු කියා ඇත්තේ පොළොන්නරුව වැනි ප්‍රදේශවල වගා කෙරෙන බීජ වලින් සියයට 50ක් පමණම ගුණාත්මක බීජ වගා නොකෙරෙන බවය. එලෙස බැලූ කල අපේ ගොවීන්ගේ රන් දහදිය බොල් වී යයි. මේ වනවිට අධික පෑවිල්ලෙන් ගොවිතැන රැක ගැනීමට නම් උඩවලව, චන්ද්‍රිකා වැව මෙන්ම අනුරාධපුර ප්‍රධාන ජලාශවල ජලය කුඹුරු කරා නියම අයුරින් යෙදවීමෙන් අපේ ගොයම රැක ගැනීමට කටයුතු කළ හැකිය. ඒ සඳහා බලධාරීන් නිසි කළමනාකාරීත්වයකින් කටයුතු කළ යුතුවේ. මන්ද මේ වන විට ඉදිරියේදී සහල් හි ඟයක් ඇති වේ යැයි බියෙන් ඉන්දියාව, පකිස්තානය වැනි රටවල් සහල් අපනයනය අත්හිටුවා ඇති තත්ත්වයක් තුළ කුඹුර රැක ගතහොත් බඩ, කට මෙන්ම ආණ්ඩුද රැකෙන්නේය යන්න අපේ රට පසුගිය කාලයේ හොඳටම තහවුරු කර ගත් බව පාලකයන්ට තවම මතක ඇතැයි අපි සිතන්නෙමු…

advertistmentadvertistment
advertistmentadvertistment