ජාත්‍යන්තර සහයෝගයෙන් වසර 3ක ජාතික පාපන්දු සැලැස්මක්

145

පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටාර් පාපන්දු සම්මේලනය හා කටාර් ඇස්පයර් පාපන්දු ඇකඩමිය සමග එක්ව ජාතික පාපන්දු කණ්ඩායමේ දක්‍ෂතා උසස් තලයට ගෙන ඒමට හා ශ්‍රී ලංකා පාපන්දු සංවර්ධනයට වසර 3 ක ගිවිසුමක් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමර් මහතා පැවසීය.

එම ගිවිසුම ලබන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන බව ජස්වර් උමර් මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පාපන්දු මූලස්ථානයේදී ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකදී ජස්වර් උමර් මහතා මේ අදහස් පළ කළ අතර ඒ මහතා එහිදී තවදුරටත් මෙසේද පැවසීය.

මෙම ව්‍යාපෘතිය උදෙසා මූල්‍ය අනුග්‍රහය හා තාක්ෂණික සහයෝගය ඇතුළු සියලු පහසුකම් සුප්‍රසිද්ධ කටාර් ඇස්පයර් පාපන්දු ඇකඩමිය ලබාදෙන බවත් ඒ අනුව දැනටමත් විදේශීය පාපන්දු පුහුණු උපදේශකයන් දෙදෙනකු ශ්‍රී ලංකා කණ්ඩායම සහ පුහුණුවීම් අරඹා ඇති බවද ජස්වර් මහතා කීය. මේ ආකාරයෙන්ම ඉදිරියේදී ගෝල් කීපර් ක්‍රීඩකයන් පුහුණු කිරීමේ විදෙස් පුහුණු උපදේශකයකු ශ්‍රී ලංකාවට එවීමට ද කටාර් පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට එකඟතාව පළ කොට ඇති බවත් ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලබන ජුනි මාසයේ උස්බෙකිස්ථානයේ පැවැත්වෙන ආසියානු පාපන්දු කුසලාන තරගාවලියේ සුදුස්සන් තොරා ගැනීමේ තරග වටයට සහභාගි වන බැවින් ඒ සඳහා ඉදිරි පියවරයන් ද සමාලෝචනය කරමින් සිටින බවත් එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට අවශ්‍ය තාක්‍ෂණික සහයෝගය සහ දක්‍ෂතා වර්ධනය කරගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් දේශීය පුහුණු කාර්ය මණ්ඩලයට මෙම පුහුණු උපදේශකයන් දෙදෙනා ලබාදෙනු ඇති බවත් ජස්වර් මහතා සඳහන් කළේය.

ජාතික පාපන්දු කණ්ඩායම සහ තාක්ෂණික අංශ සමග මෙන්ම දේශීය පුහුණුකරුවන් සමග පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙම පුහුණු උපදේශකයන් දෙදෙනා දැනට පවතින අඩුපාඩු හා දක්‍ෂතා නිරීක්‍ෂණය කොට කටාර් පාපන්දු සම්මේලනයට වාර්තාවක් ලබාදීමට ද නියමිත බවද ඔහු සඳහන් කළේය.

ජාතික පාපන්දු සංවර්ධන සැලැස්ම යටතේ ඉදිරියෙන්ම සිටින දේශීය පුහුණුකරුවන් පුහුණු කිරීමේ පාඨමාලා හා දක්‍ෂ ක්‍රීඩකයන් විදේශීය පාපන්දු ලීග් තරග වෙත යොමු කිරීමටද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සැලසුම් සකස් කර ඇති බවද ජස්වර් මහතා පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පාපන්දු පුහුණු උපදේශකයන් වන ඇන්ඩෲ මොරිසන් සහ කීත් ස්ටීවන්ස් දෙදෙනා මෙන්ම ශාරීරික යෝග්‍යතා පුහුණුකරු මාකොස් පෙරෙයිරා යන මහත්වරු ද අදහස් දැක්වූහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment