කොළඹට ලැබුණු තොරතුරක් මත කෙනර මළ සිරුරක් සොයා ගනී

217

මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් සීගිරිය, ගල් ළිඳ ප‍්‍රදේශයේ මහා වැව ආසන්නයේ මිය ගිය කෙනර මළ සිරුරක් මින්නේරිය හා සීගිරිය වන ජීවී නිලධාරීන් හා පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ මෙහෙයුමකදී සොයා ගෙන තිබේ. කොළඹ පිහිටි වන ජීවී සංරක්ෂණ ප‍්‍රධාන කාර්යාලයට ලැබුණු තොරතුරක් මත මින්නේරිය හා සීගිරිය වන ජීවී නිලධාරීන් මෙම මෙහෙයුම සිදුකර ඇත. වයස අවුරුදු විස්සක් පමණවන මිය ගිය කෙනරගේ මළ සිරුර කෝන් ගසක අතු කැබැලිවලින් වසා දමා තිබුණු බව වැටලීමට එක්වූ නිලධාරීහු පැවසූහ. කෙනර මිය යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙනරගේ මරණය පිළිබඳ හිඟුරක්ගොඩ මෙහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයක් මත මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගිරිතලේ පශුවෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත අතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශනයක් සහ කෙනර ගේ ඞී.එන්.ඒ. පරීක්ෂණයක් ද කිරීමට නියමිත බව වන ජීවී නිලධාරීහු කියා සිටිති. මීට සති කීපයකට පෙර මින්නේරිය ජාතික වනෝද්‍යානයේ අලි පැටවකු පැහැරගෙන යෑමක් පිළිබඳ අන්දෝලනාත්මක සිද්ධිය වාර්තාවී ඇත්තේද කෙනර මියගිය ස්ථානයට ආසන්නයේ පිහිටි භූමියක බවද වන ජීවී නලධාරීහු කියා සිටිති. කෙනරගේ මරණය සම්බන්ධයෙන් සීගිරිය, කශ්‍යපගම ප‍්‍රදේශයේ පදිංචි පුදගලයන් දෙදෙනකු වන ජීවී නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ භාරකාර ඊ. මඩුගල්ල, ජේ.ආර්.විජිත, එම්.එම්. වාසල යන මහත්වරුන් ඇතුළු වන ජීවී නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

දඹුල්ල-සරත් එරමිනිගම්මන

advertistmentadvertistment
advertistmentadvertistment