හොඳම නවකතාව හා කෙටි කතාවට නෝබට් අයගමගේ-එරික් ඉලයප්පාරච්චි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබති

317

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (14දා) මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී පැවැති අවස්ථාවේදී හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ‘පුර හඬෙකි වියැකෙන’ නවකතාව ලියූ නෝබට් අයගමගේට ද හොඳම ස්වතන්ත්‍ර කෙටිකතාව සඳහා වූ සම්මානය සූර්යක්ලාන්තය සහ අනාථ කතා යන කෘතිය ලියූ එරික් ඉලයප්පාරච්චිට ද හිමි විය.

හොඳම නවකතාව දෙමළ සම්මානය එම්. එම්. නවුෂාඩ්, හොඳම නවකතාව ඉංග්‍රීසි සම්මානය මනුක විජේසිංහ, හොඳම පද්‍ය සංග්‍රහය සම්මානය ලක්ශාන්ත අතුකෝරල ලියූ ‘හැඟුම් ගගෙහි හැංගිලා’, හොඳම විෂයක ග්‍රන්ථ සම්මානය ‘විශ්වවිද්‍යාලය යනු කුමක්ද’ ලියූ ලියනගේ අමරකීර්ති ද, හොඳම පරිවර්තිත රාජ්‍ය සම්මානය සේනාරත්න වීරසිංහ ලියූ ‘කලාවේ තේරුම කුමක්ද’, හොඳම පරිවර්තිත නවකතාව රාණි සේනාරත්න රාජපක්‍ෂටත්, හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය ‘ජාජා ඩිං’ ලියූ කසුන් සමරතුංගටත්, හොඳම විද්‍යා සාහිත්‍ය කෘතිය ‘සක්වල චක්‍රය’ට ද, හොඳම පිටකවරය පවන් අංජනට ද පිරිනැමිණි.

උළෙලේ ප්‍රධාන අරාධිතයා වූ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක හා සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක යන මහත්වරු ද එම සම්මාන ප්‍රධානයට එක්විය. මෙම උළෙලේදී ජීවිතයේ එක් වතාවක් පිරිනමන සාහිත්‍ය රත්න සම්මාන සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර කේ. සට්ටනාදන් සහ මහාචාර්ය ජෙරල්ඩ් පීරිස් වෙත පිරිනැමිණි. විවිධ ක්‍ෂේත්‍ර 19ක් යටතේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන 41ක් මෙවර පිරිනැමිණි.

හොඳම නවකතාව හා කෙටි කතාවට නෝබට් අයගමගේ-එරික් ඉලයප්පාරච්චි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබති

ඡායාරූප සහ සටහන – නිශේන්ද්‍ර සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment