රටේම කුඹුරු වේලෙද්දී තෙත් බිමක් රැකගන්න වෙර දරන කොළඹ මිනිස්සු

254

කොළඹ නගරය තුළ පිහිටි A ශ්‍රේණියේ වෙල්යායක්

අපිට අපේ කුඹුරු යාය බේරා දෙන්න

සරුසාර කුඹුරු යායක් විනාශයට පත් වෙමින් පවතින ආකාරය දකිමින් හිඳිමි. අදින් වසර කිහිපයකට පෙර සරුසාර වී අස්වැන්නක් ලබාදුන් කුඹුරු යාය මේ වන විට මුළුමනින්ම පුරන් කුඹුරු යායක් බවට පත්වී ඇත. තැන තැන ගොඩ වගාව පිණිස වෙන්කරගත් කුඹුරු බිම් කිහිපයක් දැකගත හැක. පෙනෙන තෙක් මානය දක්වා විහිදී ඇති කුඹුරු යායේ එක් මායිමක් කෙළවර වන්නේ පන්නිපිටිය -රුක්මල්ගම ප්‍රධාන මාර්ගය අසලින්ය. එම මාර්ගයට ආසන්නයේ පිහිටි කුඹුරු ඉඩම් කීපයක් ගොඩ ඉඩම් බවට පත්කිරීමෙන් අනතුරුව මේ වන විට විකුණා දමා අවසන්ය. විවිධ දුෂ්කරතා මැද එක් ගොවි මහතෙක් පමණක් කුඹුරු අක්කර තුන්කාලක පමණ ප්‍රමාණයක් වගා කොට තිබෙන අයුරු දැක ගත හැක. ඒ හැර මුළු කුඹුරු භූමියම දිස්වන්නේ ලඳු කැලෑවක් පරිද්දෙන්ය. කලක් ඒ ශ්‍රේණියේ කුඹුරු යායක් ලෙස යල මහ දෙකන්නය උල්පත් ජලයෙන් වගා කළ සරුසාර ගොවි බිමක් මේ වන විට මුඩුබිමක් බවට පත්වෙමින් පවතින අයුරු දෑසින් දැකීම තුළ පවා උපදවාලනු ලබන්නේ රිදුම් සහගත හැඟීමකි. ඉදිරියේදී මෙරට වී ගොවිතැනට අත්වන ඉරණම පිළිබඳව පූර්ව නිගමනයකට පැමිණීම පිණිස අප ඉදිරියේ දිස්වන පන්නිපිටිය බෝගහවත්ත කුඹුරු යාය පමණක් වුවද ප්‍රමාණවත්ය.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් ජල පෝෂක ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබෙන පන්නිපිටිය බෝගහවත්ත කුඹුරු බිම් මුල්කර ගනිමින් සිදුවන මෙම කුඹුරු ඉඩම් කට්ටිකර ගොඩ ඉඩම් බවට පත් කිරීමේ අනීතික ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව ඇතුළු කුඹුරු හිමියන් බහුතරයක් තම විරෝධතාව ප්‍රකාශ කරන අතර තවත් පිරිසක් එම විරෝධතාවයන් නොතකමින් දිගින් දිගටම කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ නිරතව සිටිති. කුඹුරු ඉඩම් ගොඩ කරන්නන් සුළුතරයක් වුවද ඔවුන් මේ වන විට ද කිසිදු බියකින් හිරිකිතයකින් තොරව එම අනීතික ක්‍රියාවේ නිරතව සිටිති. නීතියේ ඇසට වැලි ගසමින් සිදුකරගෙන යන මෙම ඉඩම් කොල්ලය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් හා ගොවියන් විසින් අදාළ බලධාරීන් සහ නිලධාරීන් දැනුවත් කර ඇතත් ඒ සඳහා සාධාරණ විසඳුමක් තවම හිමි වී නැති සෙයකි. තවදුරටත් ගොවිතැනට ආදරය කරන ගොවියන් සහ කුඹුරු හිමියන් සඳහන් කර සිටින්නේ ප්‍රදේශය තුළ මේ වනවිට ක්‍රියාත්මක ගොවි සංවිධානය ද වගා බිම් “ගොඩ කරන්නන්ගෙ” සුරතලුන් බවට පත්වී ඇති බවත් එම සමිතියේ නිලතල හොබවන ඇතැම් පිරිස් තම තමන්ගේ නිලතල පාවිච්චි කරමින් කුඹුරු යායේ ඇතැම් ස්ථාන අනවසරයෙන් ගොඩ කරමින් සිටින බවත්ය. ඊට අමතරව ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු භාර රාජ්‍ය නිලධාරීන් ද ඉඩම් ගොඩ කරන්නන් සඳහා ආරක්ෂාව සපයන බලකායක් පමණක් බව පෙන්වා දෙන කුඹුරු හිමියන් සහ ගොවියන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ තම පාරම්පරික ගොවි බිම ආරක්ෂා කර ගැනීම පිණිස දියත් කොට ඇති සටනට මේ වන විට වසර හතක් ගතවී ඇතත් තවමත් සාර්ථක විසඳුමක් ලැබී නැති බැවින් තම පාරම්පරික ගොවි බිම තවදුරටත් ආරක්ෂා කර ගැනීම පිණිස ආචාරශීලී ලෙස ඉදිරියටත් පෙනී සිටින බවය. දැනට සිදුවෙමින් පවතින අනීතික ලෙස කුඹුරු ඉඩම් ගොඩ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වූ කොට්ටාව බටහිර 496/ෘ ග්‍රාම නිලධාරී වසමේ කුඹුරු හිමියන් හා ගම්වැසියන් පොදුවේ සහ වෙන් වෙන් වශයෙන් තම අවනඩුව මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ අයුරින්ය.

පළමුව අප හා අදහස් දක්වා සිටියේ වසර හතළිහකට අධික කාලයක් පන්නිපිටිය බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ විශ්‍රාමලත් විදුහල්පති ජී.ජී. සිරිපාල මහතා ය.

“මේ කුඹුරු අක්කර කීපය කියන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ‘ඒ’ ශ්‍රේණියේ කුඔුරු යායක්. ඒ වගේම ප්‍රදේශයට ඉතාමත් ප්‍රයෝජනවත් පුනීල මෝයක හැඩය ගත් භූ ලක්ෂණ සහිත වගාබිමක් ලෙසත් මෙය නම් කරන්න පුළුවන්. මේ වගාබිම පුනීල මෝයක හැඩය ගැනීම තුළ පන්නිපිටිය බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි කුඹුරු ගොවියන්ට පමණක් නොවෙයි කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, ලියනගොඩ ආදී ප්‍රදේශ රැසක ජීවත්වන ජනතාව ගංවතුර තර්ජනය හමුවේ බය නැතුව ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ මේ පුනීල මෝය නිසයි කියලා නොබියව පවසන්න පුළුවන්. මම මුලින් නම් සඳහන් කළ ප්‍රදේශ සහ ඒ අවට එක්රැස් වැසි ජලය බාධාවකින් තොරව දියවන්නාව තෙක් කාලයක් තිස්සේ ගමන් කළේ මේ පුනීල මෝය ඔස්සේ. එම නිසා මොන තරම් වර්ෂාවක් පැවතියත් කිසි දවසක මේ ප්‍රදේශයේ ජනතාවට වැහි වතුරෙන් බාධා පැමිණුනේ නැහැ. නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඉදිරියේදී මේ ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් හට ගත්තොත් මේ පුනීල මෝය ගොඩ කරන පිරිස ඊට වගකියන්න ඕන. මේ අනීතික ක්‍රියාව දැක දැකත් ඊට විරුද්ධව වචනයක් ප්‍රකාශ කරන්න අකැමැති රජයේ නිලධාරීන් මේ සඳහා වගකියන්න ඕන. ඒ කාලේ මට මතකයි මේක සරුසාර ගොවි බිමක්. හොඳ වී අස්වැන්නක් ගොඩට ගත්ත වගා බිමක්. පැරණි ගොවි මහත්තුරු තම තමන්ගේ වියපත් බවත් එක්ක කුඹුරු ගොවිතැනින් ඉවත්ව යද්දී ඒ කැත්ත උදැල්ල අතට ගත්ත ඊළඟ පරම්පරාව ඉතා සාර්ථක ලෙස තමන්ගෙ ගොවිතැන් කටයුතු කාලයක් තිස්සේ කරගෙන ආවා. උල්පත් ජලයෙන් යල මහ වගා කරන්න පුළුවන් ‘ඒ’ ශ්‍රේණියේ කුඹුරු යායක් ලෙස නම් කරලා තියෙන මේ වගා භූමියට හෙනහුරා පාත් වෙන්න ගත්තෙ අන්න ඒ දෙවෙනි පරම්පරාව ක්‍රමයෙන් ගොවිතැනින් ඈත් වීමත් එක්කයි. හැමෝම එහෙම කළේ නෑ. අදත් ඇත්ත ගොවියා කැත්ත උදැල්ල අරගෙන ගොවිතැනට බහින්න ලෑස්තියි. නමුත් සුළු පිරිසක් විසින් තමයි ගොවිතැන පුරන් වෙන්න යවලා එහෙමත් නැත්නම් ගොඩ වගාව පිණිස කියල අවසර අරගෙන මේ කුඹුරු ගොවිතැන ටික ටිකෙන් පියවරෙන් පියවර ගොඩ කිරීම ආරම්භ කළේ.

අරුණ ගුණවර්ධන

‘කුඹුරු හිමියන් ලෙස ඒ වගේම කුඹුරු බිම් ආශ්‍රිතව ජීවත්වන ගම් වැසියන් ලෙස මේ අනීතික කුඹුරු ඉඩම් ගොඩ කිරීමට විරුද්ධව අපි දිගින් දිගටම පෙනී සිටියා. මේක වසර හතක් තිස්සේ දිග ඇදෙන ප්‍රශ්නයක්. දිගින් දිගටම වගේ වගකිවයුතු නිලධාරීන්ට මේ සම්බන්ධව ලිව්වා. මුණගැහිලා කරුණු කාරණා පැහැදිලි කළා. පරීක්ෂණ පවා සිදු කළා. දැනට ඒ ඉදිකිරිම නතර කරලා තියනවා ගොඩ වගාවට කියලා අවසර අරගෙන ඇතැම් අය පොකුණු ඉදි කරනවා. ඒ අවට ස්ථිර බෝග වගා කරනවා. ප්‍රදේශයේ කුඹුරු හිමියන් වශයෙන් අපි ඊට විරුද්ධ වන සෑම අවස්ථාවකම රජයේ නිලධාරින් හිට ගත්තේ කුඹුරු ටික ගොඩකරන්න උත්සාහ ගන්න අයත් එක්ක. කිසිම වෙලාවක නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. අද කුඹුරුවලට වතුර ටික එන ඇළවේලි ටික නෑ. කුඹුරු හිමියට,

රටේම කුඹුරු වේලෙද්දී තෙත් බිමක් රැකගන්න වෙර දරන කොළඹ මිනිස්සු

ගොවියට තමන්ගෙ වගාවට වතුර ටික ගන්න ක්‍රමයක් අද නෑ. නිලධාරී මට්ටමින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැති තැන අග්‍රාමාත්‍යතුමාගේ අවධානය මේ ප්‍රශ්න කෙරෙහි යොමු කරන්න ප්‍රදේශයේ ගොවි ජනතාව වශයෙන් දැනටමත් අපි කටයුතු කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා එතුමන්ගේ මැදිහත්වීම මත හෝ මේ පාරම්පරික ගොවි බිම මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරල දෙයි කියලා…”

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් අප හා අදහස් දක්වා සිටියේ බෝගහවත්ත එකමුතු ගොවි සංවිධානයේ හිටපු සභාපතිවරයකු මෙන්ම මේ වන විට ද භූමියේ වගා කටයුතුවල නිරත තවත් පුද්ගලයෙකු සමඟ ය. හේ නමින් කේ. ජනත් දුමින්ද ය.

“ප්‍රදේශයේ ගොවි සමිතියක් වශයෙන් සාමූහික තීරණයක් ගන්නවා නම් ඒ පිළිබඳව සියලුම ගොවීන් ව දැනුවත් කළ යුතුයි. වසර ගණනක් මේ ගොවි සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ පුද්ගලයෙක් ලෙස අපි විසින් යම් තීරණයක් ගත්තා නම් ගත්තෙ එහෙමයි. නමුත් දැනට ක්‍රියාත්මක වෙන ගොවි සමිතියෙන් එහෙම දෙයක් වෙන්නෙ නෑ. කීපදෙනකුගේ උවමනා එපාකම් මත තමයි ඒ අය තීරණ ගන්නේ. එහෙම තීරණ අරගෙන මේක තමයි සියලුම ගොවියන්ගේ කැමැත්ත කියලා ඉහළට දැනුම් දෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ කුඹුරට ට්‍රැක්ටර් පැන්නුමක් අවශ්‍යයි කියලා ගොවි සමිතිය විසින් තීරණය කළාට ගොවියෝ වශයෙන් අපි ඒකට එකඟ නෑ. සීමිත පිරිසක් විසින් තමයි මේ තීරණ ගන්නේ. ඒ අය ඉන්නේ වගාවට හිතවත් ගොවියන් පැත්තෙ නෙවෙයි. කුඹුරු ඉඩම් ගොඩ කරන පිරිසට ඒ අයත් ඇතුළත් වෙනවා. මේ වගා භූමියේ ඕනෑම කුඹුරකට කෘෂි යන්ත්‍ර ගෙනියන්න පුළුවන් පරිදි කෙත් මගක් ඉදි කරල තිබෙද්දී තමයි මේ අය ට්‍රැක්ටර් පැන්නුමක් ඉල්ලා සිටින්නේ. ගොවියෝ වශයෙන් ඒ පිළිබඳව විරුද්ධත්වය ප්‍රකාශ කරල උසස් නිලධාරීන්ට දැනුම් දුන්නට පසුව ඒ අය ඇවිත් ස්ථානීය පරීක්ෂණයක් සිදු කරනව. අවාසනාවකට ඒ අයගේ මතය වෙන්නෙත් ට්‍රැක්ටර් පැන්නුමක් අවශ්‍යයි කියන එකයි. නමුත් ගොවිය වශයෙන් අපි එකට විරුද්ධයි. මම අදත් මේ කුඹුරු යායේ අක්කර තුන් කාලක ගොවිතැනක් කරගෙන යනවා ඔය ට්‍රැක්ටර් පැන්නුම ඉල්ලා සිටින කණ්ඩායමේ එක් අයෙක් වත් දැනට බිම් අඟලක්වත් වගා කටයුතු කරන්නේ නෑ. තවදුරටත් කුඹුරු ටික ගොඩ කරලා තම තමන්ගේ ගොඩ වැඩි කර ගන්න එක තමයි ඒ අයගේ එකම අරමුණ. ඒ හින්දා අපි කියනවා මේ සාම්ප්‍රදායික ගොවි බිම තවදුරටත් ආරක්ෂා කළ යුතුයි කියලා. බත් කන මිනිස්සු වශයෙන් රට ගැන, රටේ ගොවිතැන ගැන හිතන මිනිස්සු වශයෙන් මේ අනවසර ඉදිකිරීම් සහ ගොඩකිරීම් නතර කරන්න බලධාරීන් දැන්වත් කටයුතු කළ යුතුයි. ඒ මතය තමයි අපි ඉන්නේ ඒ හින්දා දීර්ඝකාලීන සැලසුම් අනුව සිදු කරගෙන යන මේ විනාශය නතර කරන්න ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි…”

ගොවියන් විසින් නගන හඬ සාධාරණය. කනගාටුවට කරුණ නම් තවමත් ඒ පිළිබඳව වගකිවයුත්තන්ගේ නිසි අවධානය යොමු නොවීමය. පිරිසක් විසින් කුඹුරු ඉඩම් මිලදී ගන්නා අතර එලෙස මිලදී ගනු ලබන්නේ ගොවිතැන පිණිස නොව පසුකාලීනව වෙනත් ඉදිකිරීම් පිණිසය. ඒ සම්බන්ධයෙන් අප හා අදහස් දක්වා සිටි ඩඩ්ලි වෙදගේ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මතු පරපුරේ ප්‍රයෝජනය පිණිස මෙම කුඹුරු යාය විධිමත් ආකාරයෙන් සංවර්ධනය කළ යුතු බවත්, එහෙත් ඒ පිළිබඳව තැකීමක් නොකරන ඇතැම් රජයේ නිලධාරීන් පෞද්ගලික දැන හැඳුනුම්කම් මත ඉඩම් ගොඩ කරන්නන්ගෙන් උවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටින බවත්ය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩඩ්ලි වෙදගේ මහතා අපි මේ පෙනී සිටින්නේ අප ජීවත්වන ග්‍රාම සේවා වසමේ පිහිටි සුවිශේෂි තෙත් බිමක් හා කුඹුරු බිමක් තවදුරටත් රැක ගැනීමේ පිරිසිදු අරමුණක් වෙනුවෙනුයි. මොකද මේ සුවිශේෂි භූ කලාපයේ අනන්‍යතාවය වෙනස් කරන්න දැනටමත් ඇතැම් පිරිස් විසින් කටයුතු කරමින් ඉන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස දැනටමත් කුඹුරු ඉඩම් ගොඩකරන ජාවාරමක් ක්‍රියාත්මකයි. තවත් පැත්තකින් වගාවෙන් ඉවත් වූ කුඹුරු හිමියන් තමන්ගේ උරුමය වෙනත් පිරිසක් වෙත විකුණා දමනවා. එහෙම විකුණන කුඹුරු ඉඩම් මිලට ගන්නෙ ගොවියො නොවෙයි. ඒ අය මේ කුඹුරු ඉඩම් මිලදී ගත්තට පස්සෙ ඉතාමත් සුක්ෂ්ම ලෙස ඒවා ගොඩකරමින් වෙනත් වෙනත් ඉදිකිරීම් කරනවා. මේක අදක ඊයෙක ඇතිවූ තත්ත්වයක් නොවෙයි. වසර හය හතක සිට මේ කුඹුරු යාය මුල්කර ගනිමින් මේ කටයුත්ත සිද්ධ වෙනවා. කුඹුරු හිමියන් ලෙසත් ගම්වැසියන් ලෙසත් බොහෝ දෙනෙක් මේකට විරුද්ධයි. අත්සන් හාරසියයකින් යුත් පෙත්සමක් මගින් අපි අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරලා වගකිවයුතු නිලධාරීන්ට මේ බව දැනුම් දුන්නා. නමුත් නිලධාරීන්ගේ ප්‍රමාණවත් මැදිහත්වීමක් තවමත් සිදුවී නැහැ. රජයේ නිලධාරීන්ගේ කඹඇදීම තවදුරටත් බලන් ඉන්න බැරි තැන අපි තීරණය කළා පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහත්තයගේ මාර්ගයෙන් මේ ප්‍රශ්නය අග්‍රාමාත්‍යතුමා ළඟට ගෙනියන්න. තව දින කීපයකින් මේ සම්බන්ධව නැවත සාකච්ඡා කරන්න එතුමාව මුණගැහෙන්න කියලා සුබ පණිවිඩයක් පවා මේ වෙද්දි අපට ලැබිලා තියෙනවා. මේ වගා භූමිය කියන්නේ ජාත්‍යන්තර රැම්සා ප්‍රඥප්තියට අයත් ප්‍රදේශයක්. එහෙම භූමියක් සුළු පිරිසකගේ පෞද්ගලික බූදලයක් වෙනවට
ගමක් ලෙස අපි විරුද්ධ වෙනවා.

රුවන් ජයවර්ධන
ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment