සජබයට ගත යුතු හා නොගත යුතු පුද්ගලයන් ගැන බලපෑම් කරන්න එපා – සජිත් සැරට කියයි

326

කයිවාරු ගසමින් පක්‍ෂයට වින කරන අය ගැන දැඩි පියවර ගන්නවා

ජනතාවට සේවය කළ නොහැකි නම් පක්‍ෂය හැරගියත් තරහක් නෑ – විපක්‍ෂ නායක සජිත් ගාල්ලේදී කියයි

තමා දේශපාලනය කරන්නේ පවුල හෝ පවුලේ සාමාජිකයන් හෝ වෙන කවුරුන් හෝ රජකරවන්න නොව රටේ ජනතාව රජ කරවීමට බවත් එම නිසා පක්‍ෂයට ගත යුතු සහ නොගත යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් බලපෑම් නොකරන ලෙසත් වසර ගණනාවක අත්දැකීම් ඇති නිසා නිවැරදි දේ තමා දන්නා බවත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න බැරි නම් පක්‍ෂය හැරදා ගියාට තමා අමනාප නොවන බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පෞද්ගලික කරුණු කාරණා කේන්ද්‍ර කරගෙන පුද්ගලයන් සම්බන්ධ කර නොගන්නා බවත් එවැනි පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නේ පරිණත නොවන පුද්ගලයන් බවත් දේශපාලනය තුළ පරිණත හා පුළුල් දැක්මක් සහිත පුද්ගලයන් සිටිය යුතු බවත් විපක්‍ෂ නායකවරයා අවධාරණය කළේය.

හිතවත්කම් මත වැඩකරන්නට නොහැකි බව ද දුර්වල තැන්වල වෙනස්කම් සිදුකළ යුතු අතර ඒ තැනට පත් නොකර නිවැරදිව වැඩකරන ලෙසත් කිසිවකු ඉවත්කිරීමෙන් තමා සතුටක් නොලබන බවත් මේ මැතිවරණ වසරේ හිතවත්කම් මත කටයුතු කළ නොහැකි බවත් ජනතාව හමුවට ගොස් යුතුකම් ඉටුකළ යුතු බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය.

සජබ අයිති සියලු සාමාජිකයන්ට බවත් සමගි ජනබලවේගය නායකයාට නොව සාමාජිකයන්ට අයිති පක්‍ෂයක් වන අතර එය ජයග්‍රාහී තැනට ගෙනඒමේ අභියෝගය නායකයා ලෙස තමාට ඇති බවත් පක්‍ෂය පුළුල් කරන්න කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසර දුන් බවත් එම නිසා විවිධ පුද්ගලයන් පක්‍ෂයට බඳවා ගත් නමුත් කිසිදු ජාතිවාදියෙක්, ආගම්වාදියෙක්, දූෂිතයෙක්, වංචාකාරයෙක් බඳවා නොගන්නා බවත් විපක්‍ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මගේ තාත්තටත්, අම්මටත් සමහරු බනිනවා. කමක් නැහැ. නමුත් තැන් තැන්වල ගොස් විවිධ කතා කියන්නේ නැතිව කයිවරු නොගහ පක්‍ෂය වට්ටවන්නේ නැතිව කටයුතු කරන ලෙසත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දු තීරණ විවේචනය කරන අයට විරුද්ධව තරා තිරම නොබලා විනය පරීක්‍ෂණ පවත්වන බවත් සෘජු තීන්දු තීරණ ගැනීමේදී තමා කාටවත් බය නොමැති බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

‘ජවය’ ගාල්ල දිස්ත්‍රික් පළාත් පළාන අපේක්‍ෂක හමුවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය. පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, සුජීව සේනසිංහ ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරීන් රැසක් ද ඊට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment