හාරකෝටියේ චමියා කසාද බඳී

291

හපන් පැදුරේ සෙට් එකම වෙඩින් එකට ආවා
අවුරුදු හයකට පස්සේ ලංකාවට ආවා
රවීන්ද්‍ර යසස්ගේ පුත් කසුන් කසාද බඳී

කසුන් චාමර කුමානායක කිව්වහම කට්ටිය අහයි ඒ කවුද කියලා. මොකද මේ නම දැන් වැඩිපුර ඇහෙන්නේ නැහැනේ. ඇහෙන්න කසුන් ලංකාවේ ඉන්නත් එපායැ. කසුන් කියන්නේ රවින්ද්‍ර යසස් කුමානායකගේ පුතා. හපන් පැදුරෙන් ගමන පටන් ගත්තු කස්සාව අපි අන්තිමට දැක්කේ හාරකෝටියෙන්. හාර කෝටිය කිව්වහම ඒ කාලේ හරි ජනප්‍රිය චරිතයක්. එක පාරටම වගේ මිසින් වුණ කස්ස අවුරුදු හයකට පස්සේ ඇවිත් වැඩි සද්ද බද්දයක් නැතිවම වෙඩින් එකකුත් අරගෙන. කොහොමින් කොහොම හරි කස්සාගේ නොම්මරේ හොයාගෙන අපි කස්සාට කතා කළා. මොකද අවුරුදු හයක විස්තර තියෙනවානේ කතා කරන්න.

හාරකෝටියේ චමියා කසාද බඳී

● කවදද කසුන් ලංකාවට ආවේ?

මීට සති දෙකකට විතර කලින්. හරියටම කිව්වොත් අගෝස්තු 9 වැනිදා.

● ලංකාවට ආවේ වෙඩින් එක ගන්නමද?

ඔව්. වෙඩින් එක ගන්න තමයි ආවේ.

හාරකෝටියේ චමියා කසාද බඳී

● කොච්චර කාලෙකට පස්සෙද ලංකාවට ආවේ.

මම දැන් අවුරුදු හයකට පස්සේ තමයි ලංකාවට ආවේ.

මොකද හිතෙන්නේ?

හරියටම කිව්වොත් ගෙදර ආවා වගේ දැනෙනවා.

හාරකෝටියේ චමියා කසාද බඳී

● ඔස්ට්‍රේලියාවේ මොනවද කළේ?

මම ඉගෙන ගන්න ගියේ. මගේ බිරිඳත් ගියේ ඉගෙන ගන්න. අධ්‍යාපන කටයුතු අවසන් කළාට පස්සේ අපි රස්සාවක් කරන්න පටන් ගත්තා. එතැනින් පස්සේ පුරවැසි භාවය ගත්ත වැඩකටයුතු ටික සකස් කළා.

● එහේ රස්සාවක් කළාද?

මම කරන්නේ ඉන්වෙන්ටි්‍ර ප්ලෑනින්.

හාරකෝටියේ චමියා කසාද බඳී

● හාරකෝටියේ චමියා මතකද?

ඔව්. මතකයි. ඉතාම ආදරයෙන් ඒ අතීතය මතක් කරනවා. සමහර වෙලාවට ලංකාවේ ටෙලි නාට්‍ය දැක්කහම ඊර්ෂයත් හිතෙනවා. ටික දවසක් යන කම් හිතට හරි අවුල්. මම ආස දෙයක් වෙන කෙනෙක් කරනකොට දුකත් හිතුන වාර අනන්තයි. ඒ හින්දා ඔස්ට්‍රේලියාවේ ඉන්න කොට ලංකාවේ ටෙලි නාට්‍ය බැලුවෙත් නැහැ මොකද දුක හිතෙනවා.

● ඒ කාලේ රඟපෑ නාට්‍ය මතකද?

මට ඇත්තටම මතකත් නැහැ. දැන් අවුරුදු හයකට කලින්නේ මම රඟපෑවේ. ආනන්ද අබේනායක මහත්මයාගේ හාරා ටෙලි නාට්‍යයෙත් රඟපෑවේ. සිරස නාලිකාවේ විකාශනය වුණු සුජාතා ටෙලිනාට්‍යයෙත් රඟපෑවා.

● ලංකාවට ආවට පස්සේ රඟපෑමට අලුත් ආරාධනා ලැබුණද?

මම ආවට පස්සේ මේ සති දෙකක් ක්‍ෂේත්‍රයේ අයත් එක්ක වැඩිය කතාබහ කරන්න බැරි වුණා.

● ක්‍ෂේත්‍රයේ අය දන්නෙත් නැතිව ඇති කසුන් ලංකාවට ආවා කියලා?

නැහැ ගොඩක් අය දන්නේ නැහැ. අනික මම කාටවත් කතා කරන්නවත් ගියේ නැහැ. වෙඩින් එක ඉවර වෙනකම් කාවත් හම්බවෙන්න බැරි වුණා. හපන් පැදුරේ කට්ටිය නම් නිතර කතාබහ කළා.

● ආපහු රඟපාන්න අදහසක් තියෙනවාද?

රැකියාවත් එක්ක මට නිවාඩු ගන්න පුළුවන් සීමිත කාලයක් විතරයි. ඒ කාලය තුළ මාසයකින් විතර ඉවර කරන්න පුළුවන් වැඩක් හම්බවුණොත් ලංකාවට ඇවිත් ඒ වැඩේ ඉවර කරලා යනවා. ඊට අමතරව සිංදුවක් කරලා සංගීතය පැත්තෙන් යමක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

හාරකෝටියේ චමියා කසාද බඳී

● ගායකයෙක් වෙන්නද අදහස?

එතකොට මට එහේ ඉඳලා හරි නිර්මාණ කරන්න පුළුවන්. ලංකාවට එන්නම ඕනෙත් නැහැනේ. ඒ හින්දා ගායනය පැත්තට නැඹුරුවෙන්න අදහසක් තිබෙනවා.

● බිරිඳගේ නම එහෙම කිව්වොත්?

චමත්කා ගමගේ.

● කොහොමද මේ හමුව සිද්ධ වුණේ?

2012 වසරේ තමයි අපි දෙන්නා මුලින්ම හම්බවුණේ. 2017 වසරේ තමයි ලංකාවෙන් ගියේ. එතකොට මම හාරකෝටිය නාට්‍යයේ චමියාගේ චරිතය රඟපානවා.

මට චමත්කා හම්බවුණේ ජාතික ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන ආයතනයේදී. මම ඒකට ගියේ උපාධිය හදාරන්න. එතකොට චමත්කත් එහේ ඇවිත් හිටියා. අපි දෙන්නා බැච්මේට්ලා.

● හොඳම යාළුකම ආදරයට පෙරළුණේ?

අපි දෙන්නා යාළුවෝ විදිහට ඉඳලා අවුරුද්දකට විතර පස්සේ තමයි පෙම්වතුන් බවට පත්වුණේ. චමත්කා ජීවත් වුණේ ප්‍රංශයේ. එයාගේ අක්කලා ලංකාවේ ඉන්න හින්දයි එයා ලංකාවට ඇවිත් උපාධිය හැදෑරුවේ. ඔය කාලෙ තමයි හම්බ වුණේ.

● හාරකෝටියේ චමියාගේ චරිතය පීක්ම වෙලාවේ තමයි චමත්කත් එක්ක ලංකාවෙන් යන්නේ?

ඒ වෙලාවේ ලංකාව දාලා යන්න දුක හිතුණා. මම දන්නවනේ කලාකරුවන්ගේ ජීවිත කොහොමද ගත වෙන්නේ කියලා. නමුත් හිතේ තිබුණේ වැඩිදුර අධ්‍යාපනය හදාරලා තවදුරටත් ලෝකය දැකලා ඇවිත් වැඩක් කරන්න ඕනෑ කියලා. නමුත් ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ ඉගෙන ගන්න දේවල්වලට මහන්සි වුණ හින්දම පුරවැසි භාවයත් අරගෙනම ලංකාවට යනවා කියලා සියල්ල ලෑස්ති කරලා තිබුණ හින්දා මට ඒ වෙලාවේ නොයා බැරිවුණා.

● හාරකෝටියේ චමියාව දාල ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ මොකද හිතුණේ?

එහේදී ගොඩක් කට්ටිය අඳුර ගත්තා. ඔවුන් පවා ඇහැව්වේ ඇයි දාලා ආවේ කියලා. හාරකෝටියේ චමියාව දාලා ගියාට පස්සේ ඇත්තටම හිතට දුකක් තිබුණා.

● මෙදාපාර කොච්චර කාලයක් ලංකාවේ ඉන්නවාද?

තව සති දෙකකින් මම ආපහු ලංකාවෙන් යන්න ඕනෑ. සැප්තැම්බර් මාසයේ මුල මම ලංකාවෙන් යනවා.

● වෙඩින් එකේ විස්තර කිව්වොත්

ඇත්තටම අපේ වෙඩින් එකේ වැඩ කළේ මගේ පවුලේ කට්ටිය තමයි. මගේ බිරිඳගේ අක්කයි මගේ අම්මයි තාත්තයි වගේම මගේ ඥාතීන් අපිට ගොඩක් උදව් කළා.

● බිරිඳ කැමතිද කසුන් රඟපානවාට?

එයාගේ ඉස්සර නම් ලොකු කැමැත්තක් තිබුණේ නෑ. ප්‍රේම චරිත එහෙම රඟපානකොට පොඩ්ඩක් අප්සට්. දැන්නම් ඒක එයාට හොඳට තේරෙනවා. හොඳ චරිතයක් රඟපාන්න ලැබුණොත් එයා අකමැති වෙන්නේ නැහැ.

● තාත්තා රවීන්ද්‍ර යසස් මොනවද කිව්වේ?

2019 වසරේ තාත්තාගේ ඇක්සිඩන්ට් එක වෙලාවේ සති දෙකකට මම ලංකාවට ඇවිල්ලා ගියා. ඒත් අපිට කොහේවත් ඇවිදින්න හම්බවුණේ නැහැ. හොස්පිටල් එකේම තමයි හිටියේ. අවුරුදු හතරකින් තමයි තාත්තා මාව දැක්කේ. මම හිතන්නේ තාත්තා දැන් හිතනවා ඇති මම වයසට ගිහිල්ලා කියලා.

● තාත්තා ඇහැව්වේ නැතිද ආපහු රඟපානවාද කියලා?

තාත්තා නම් කියන්නේ ලංකාවේ රඟපාන එක විතරක් කරලා ජීවත් වෙන්න අමාරුයි කියලා තමයි සියල්ලම කළොත් තමයි හොඳ මට්ටමක් හදාගන්න පුළුවන්. හොඳ වැඩක් ආවොත් කළාට කිසි ප්‍රශ්නයක් නැහැ කියලයි කියන්නේ.

● කසුන්ගේ ජීවිතයට චමත්කාගේ මුණ ගැසීම ගැන මොකද හිතන්නේ?

ඇත්තම කිව්වොත් මගේ ජීවිතයේ ඇය හැරවුම් ලක්‍ෂ්‍යයක්. එයා හම්බ වුණේ නැතිනම් මගේ හිතේ රට යන අදහසත් තිබුණේවත් නැහැ.

චමත්කාගේ හමුවීමත් එක්ක තමයි මගේ සිහින සියල්ල සැබෑ වුණේ. එහෙම නැතිනම් මම ලංකාවේ ඉඳිවී.

● චමත්කා හම්බවුණේ නැතිනම් තවමත් රඟපානවා එහෙමද?

එහෙනම් තවම රඟපානවා.

● එහෙනම් දැන් ජනප්‍රිය නළුවෙක් වෙලා?

ජීවිතයේ මොනවා වෙයිද කියලා කියන්න බැහැනේ. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

● ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්

මම හිතන්නේ රට යන්න ගත්තු තීරණය හරි. රට ගිය ගමන් නම් දුක හිතුණා. මොකද දන්න කවුරුවත් හිටියේ නැහැනේ. තනිකම දැණුනා පස්සේ යාළුවෝ එහෙම හම්බ වුණහම ඒක හරි ගියා. මොනවා වුණත් මම හරි කාලේ හරි තීරණ සියල්ලම ගත්තා.

● වෙඩින් එක ගොඩක් කට්ටියට කිව්වේ නැහැ නේද?

මම රට ගියාට පස්සේ මට නිතර කතා කරපු කට්ටිය ඉන්නවානේ. ගොඩක් මිත්‍රයෝ අපිත් එක්ක කතා කරනවා හම්බ වෙනවා. නමුත් රට ගියාට පස්සේ එහෙම වෙන්නේ නැහැනේ. හැබැයි නිතර කතා කරන හතර පස් දෙනෙක් හිටියා. මම ඒගොල්ලන්ට වගේම හපන් පැදුරේ කට්ටියට එන්න කිව්වා. හපන් පැදුරේ ඔක්කොම වගේ වෙඩින් එකට ආවා.

● හපන් පැදුර ගැන මොකද හිතුණේ?

අපි 2002 ඉඳලා 2011 වෙනකම් අවුරුදු 10 ක් විතර එක දිගට වැඩ කළා. හරියට සහෝදරයෝ වගෙයි. අපේ ළමා කාලයේ ඉතාම ලස්සන කාලය තමයි හපන් පැදුර කියන්නේ. ඒ කාලය අදටත් මතක් වෙනවා.

දිනේෂ් විතාන
ඡායාරූප – The Vanity

advertistmentadvertistment
advertistmentadvertistment