පාසල් 4983ක් අවට මත් තිප්පොළවල් වැටලුවා – පොලිස් මූලස්ථානය

69

තවත් පාසල් 107ක් අවට මත් අවදානම

දිවයින පුරා ඇති පාසල් 10,221 අතරින් පාසල් 4983 ක් අවට මත්ද්‍රව්‍ය සංසරණයක් තිබෙන බවට හඳුනාගෙන ඒවා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව වටලා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මෙහිදී මත්ද්‍රව්‍ය අලෙවි කළ සැකකරුවන් 517 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද එම මූලස්ථානය කියයි.

එහිදී මත්කුඩු ග්‍රෑම් 85ක්ද, අයිස් ග්‍රෑම් 48ක්ද, මත් පෙති 1561ක්ද, ගංජා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම්230ක්ද, මාවා කිලෝග්‍රෑම් 3යි. ග්‍රෑම්650ක්ද, මදන මෝදක කිලෝග්‍රෑම් 2 යි. ග්‍රෑම් 345ක්ද, නීති විරෝධී සිගරැට් 1285 ක්ද, දුම්කුඩු කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 585ක්ද අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මූලස්ථානය කියයි.

මත්ද්‍රව්‍ය සංසරණයක් තිබෙන බවට හඳුනාගත් සෑම පාසලක් ආශ්‍රිතවම අදාළ පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් හා පාසල් අවට ශිෂ්‍ය ප්‍රජාව සහභාගි කරවා ගනිමින් ‘පවුර’ සංසද කමිටු 513 ක් පිහිටුවා ඇත. එම කමිටු සාමාජිකයින් විසින් ලබාදුන් වාර්තා අනුව පාසල් 4876 ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය සුලබතාවය පිළිබඳ පැවැති අවදානම යම් දුරකට පහව ගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

එසේම පාසල් 107ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අවදානම පවතින බවට ‘පවුර’ සංසද කමිටු මගින් වාර්තා වී ඇත. එම පාසල් අවට තවදුරටත් මෙහෙයුම් සිදුකරන ලෙසටත්, ළමුන් නොමඟ යැවීමට පොළඹවන ස්ථාන ඇති බව හඳුනාගෙන ඇති පාසල් 434 ආශ්‍රිතව ඉදිරි කාලයේදී මෙහෙයුම් සිදුකරන ලෙසටත් අදාළ පාසල් පිහිටි පොලිස් කොට්ඨාස භාර නිලධාරීන් වෙත පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment