දිනක් විජයවර්ධන මහතාගේ කාර්යාලයේ අපි කතා කරමින් සිටියෙමු. ඒ මහතා පිළිබඳ ලිපියක් පළවී තිබුණ සතිපතා පුවත්පතක් මා දෙසට දිගු කොට එය කියවන්නැයි කීය. ‘මට පහර ගසා ඇත්තේ ඔන්න ඔය ඡේදයෙන්’ මෙසේ පවසා ඔහු මහ හඬින් සිනාසුනේය. අද ඒ සිද්ධිය දෙස ආපසු හැරී බලන විට එක කරුණක් පෙනී යයි. ඒ මහතා තුළ තිබුණ මා කලින් සඳහන් කළ යුග පුරුෂ ලක්ෂණයි. යම් කිසි ලේඛකයකු විසින් තමන්ට එල්ල කරන ලද ඒ පහර සිනාවෙන් පිළිගත් ඔහු ඒ පහර ගැන කිපුනේ නැත. එයින් ඔහු හාස්‍ය රසයක් වින්දේය. තමන්ට ගහන පහර සිනා මුහුණින් පිළිගැනීමටත් ඒ තුළ තිබෙන හාස්‍ය රසය විඳීමටත් හැකි නම් එය අදීන ලක්ෂණයක් නොවේ නම් වෙන කුමක්ද?
උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ අදට (13 දාට) යෙදෙන 40 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.
යුග පුරුෂයන් බිහිවන්නේ කලාතුරකිනි. ඔවුහු විවිධ දක්ෂතාවන්ගෙන් යුක්තයහ. මනුෂ්‍යත්වයෙන් ද පරිපූර්ණයහ. උපාලි විජයවර්ධන මහතා මේ ගණයේ යුග පුරුෂයෙකි.
දිවයින පත්‍රයේ කර්තෘ පදවියට විජයවර්ධන මහතා මා තෝරා ගැනීමත් සමග යට කී අන්දමේ යුග පුරුෂයකු ආශ්‍රය කරන්නට මටද අවස්ථාවක් ලැබිණ.
1970 පවත්වන ලද මහා මැතිවරණයෙන් පසු ලේක්හවුස් ආයතනය අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දුන්නේය. එම ඡන්දයෙන් පසු ජයග්‍රහණයෙන් මුසපත් වූ ජයග්‍රාහක පක්ෂයේ ආධාරකරුවෝ ලේක්හවුස් ආයතනයේ රතු කොඩියක් එසැවූහ. ආයතනයේ පුස්තකාලය ආශ්‍රිත ප්‍රදේශයට ගිනි තැබූ නමුත් එය මහ විපතක් බවට පත්නොවීය. ලේක්හවුස් ආයතනය රජයට ගනු ඇතැයි යන ආරංචිය ලේක්හවුස් ආයතනය කෙරෙහි අඳුරු වළාකුළක් බවට පත්විය.
1973 මැද භාගය වන විට මේ තත්ත්වය වර්ධනය වී එවකට තිබුණ සභාග රජය මගින් ලේක්හවුස් ආයතනය තම පාලනය යටතට පවරා ගනු ලැබීය. එදිනම මම ලේක් හවුස් ආයතනයෙන් ඉවත්වීමි. මා එසේ කළේ මා තුළ යම්කිසි ස්වාධීනත්වයක් තිබුණ නිසාය.
ඒ වනවිට මම දිනමිණ පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ සහ ප්‍රවෘත්ති කර්තෘවරයාව සිටියෙමි. 1977 දී මා ආපසු ලේක් හවුසියට පැමිණියේ දිනමිණ පුවත්පතේ කර්තෘවරයා වශයෙනි. වැඩිකල් යන්නට පෙර මා තුළ පැවැති එම ස්වාධීනත්වය පාලක පක්ෂය හා ගැටෙන්නට විය. දිනමිණ කර්තෘකමෙන් සිළුමිණට මාරු කරන ලදී. මේ සිද්ධිය පසුපස මගේ පෙර කී ස්වාධීනත්වය පවතින්නට ඇත.
සිළුමිණට මා පැමිණියත් තත්ත්වයේ වෙනසක් නොවීය. පාලක පක්ෂය හා මා අතර පැවැති අසහනකාරී තත්ත්වය එන්ට එන්ටම වැඩි වන්නට විය.
මෙවැනි තත්ත්වයක පසුවෙමින් මා සිටින වකවානුවේ උපාලි විජයවර්ධන මහතා පුවත්පත් ව්‍යාපාරයක් පටන් ගන්නට යන්නේය යන රාවයක් පැවතිණ.
මේ අතර දිනක් විජයවර්ධන මහතා හමුවන ලෙස මට පණිවුඩයක් ලැබුණි. මා විජයවර්ධන මහතා හමුවූයේ ඔහුගේ මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා කාර්යාලයේදීය. බොහෝ වේලා මේ රටේ නොයකුත් ප්‍රශ්න ගැන සාකච්ඡා කළෙමු. එම හමුව අවසාන වූයේ විජයවර්ධන මහතාගෙන් ලැබුණු මෙම ප්‍රශ්නයෙනි. ‘ඔබ කැමති ද අප හා සමග එක්වන්න.’
මම ප්‍රශ්නයට පිළිතුරු ක්‍ෂණිකව දුනිමි. මගේ පුවත්පත් කලාවත් වෙනත් මගක් ගත්තේය. විජයවර්ධන මහතා කාර්යාලයේ එක් දොරකින් පිටවී ගිය අතර මම තවත් දොරකින් පිටවී ගියෙමි. මා එසේ පිටවූයේ මගේ ස්වාධීනත්වය මම නැවත ලබා ගත්තේමැයි යන සිතුවිල්ල සිත තුළ රැව් දෙවමිනි. ඒ සමගම මා නිදහස් වූයෙමැයි මට දැනිණ.
උපාලි විජයවර්ධන මහතා අපට එක කාර්යයක් භාර කළේය. ස්වාධීනව පුවත්පත් මේ රටේ ජනතාව අතරට පත්කිරීම ඒ මහඟු කාර්යය වේ.
දිනක් විජයවර්ධන මහතාගේ කාර්යාලයේ අපි කතා කරමින් සිටියෙමු. ඒ මහතා පිළිබඳ ලිපියක් පළවී තිබුණ සතිපතා පුවත්පතක් මා දෙසට දිගු කොට එය කියවන්නැයි කීය. ‘මට පහර ගසා ඇත්තේ ඔන්න ඔය ඡේදයෙන්’ මෙසේ පවසා ඔහු මහ හඬින් සිනාසුනේය.
අද ඒ සිද්ධිය දෙස ආපසු හැරී බලන විට එක කරුණක් පෙනී යයි. ඒ මහතා තුළ තිබුණ මා කලින් සඳහන් කළ යුග පුරුෂ ලක්ෂණයි. යම් කිසි ලේඛකයකු විසින් තමන්ට එල්ල කරන ලද ඒ පහර සිනාවෙන් පිළිගත් ඔහු ඒ පහර ගැන කිපුනේ නැත. එයින් ඔහු හාස්‍ය රසයක් වින්දේය.
තමන්ට ගහන පහර සිනා මුහුණින් පිළිගැනීමටත් ඒ තුළ තිබෙන හාස්‍ය රසය විඳීමටත් හැකි නම් එය අදීන ලක්ෂණයක් නොවේ නම් වෙන කුමක්ද?
ඒ මහතා ලැබූ සාර්ථකත්වයට එම අදීන ලක්ෂණය ද හේතු වූ බවට සැකයක් නැත.
විජයවර්ධන මහතා මේ රටේ ජනතාවට ලබා දුන් ඒ පුවත්පත් එතුමා අප අතර නැතත් පවත්වාගෙන යන්නෙමු. එම කාර්යයන් ඉතා දුෂ්කර එකක් බව පෙනී ගියත් කළ හැකි වෙන දෙයක් නැත. ඒ මාවතේම අපි යා යුත්තෙමු.
දේශීය නිෂ්පාදන තුළින් රටට විනිමය ගෙන ඒමටත්, ව්‍යාපාරිකයකු ලෙස ලොව ජය ගැනීමටත් මනා දැක්මක් හා හසල ඥානයක් ද විජයවර්ධන මහතා සතු වූයේය. සුප්‍රකට ආසියානු ව්‍යාපාර සඟරාවද වරෙක කවරයේ කතාවට ඔහුගේ ජීවිත කතාව යොදා ගත්තේය. ඩෙල්ටා ටොෆියෙන්, කැන්ඩොස් චොකලට් එකෙන්, යුනික් රේඩියෝවෙන් පළමුවරට මෙරට තුළ මෝටර් රථ නිපැයුමෙන් උපාලි ගුවන් සේවාවක් අරඹමින්… එපමණක් නොව, ඔහු පුවත්පත් මුද්‍රණ කර්මාන්තයට ද ප්‍රවිෂ්ට වෙමින් තැබූ පිය සටහන් අභිමානවත් යුග පුරුෂයකුගේ ලක්‍ෂණ තවත් සනාථ කරන්නක් නොවේද?
නැවත පළවීමකි
එඩ්මන්ඩ් රණසිංහ
දිවයින සමාරම්භක
ප්‍රධාන කර්තෘ හා ප්‍රථම කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ