දිවි සැරිය නිම කළ සිරිල් බස්නායක

70

රජරට මාධ්‍යවේදීන් අතර වඩාත් කැපී පෙනෙන මාධ්‍යවේදීන්ගේ රජු වශයෙන් සඳහන් කළ හැකි රජරට ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ පත්තර මිත්‍රයා ඉකුත් දින අපෙන් සදහටම වෙන්වී ගියේය.

ඔහු ‘දිවයින’ පත්තරේ අනුරාධපුර මාධ්‍යවේදී සිරිල් බස්නායකයි. අපේ පත්තර මිත්‍රයාගේ අවමංගල්‍ය උළෙල ඉකුත් බදාදා සවස් භාගයේ සිදුකළ අතර මෙම උත්සවයට මහා සංඝරත්නය මෙන්ම විවිධ තරාතිරමේ කලා ශිල්පීන්, මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලනඥයන් ද සහභාගි වී සිටිනු අපට දැකගැනීමට ලැබිණි.

මා දන්නා තරමට සිරිල් බස්නායකගෙන් පසු රජරට සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා සිසර් කුරුනේරුය. එමෙන්ම සිසර් අනුරාධපුර ‘දිවයින’ වාර්තාකරුවකු වූ පර්සි කුරුනේරුගේ සොහොයුරුය.

සිරිල් බස්නායක මිත්‍රයාගේ අවමංගල්‍ය උත්සවයේදී සිසර් කුරුනේරු මට පැවසුවේ මෙවැනි වචන පෙලකි.

සිරිල් බස්නායකයි මටයි අනුරාධපුරේදී වසර ගණනාවක් පොලිස් කූඩුවේ පවා ලගින්න සිද්ධ වුණා. අපි නොකළ වැරදිවලට තමයි මෙහෙම සිද්ධ වුණේ. අපි දෙන්නට චෝදනා දෙකක් එක එක ආකාරයට එල්ල කර තිබුණා. හැබැයි අපි දෙන්නට මෙම චෝදනා එල්ල වුණේ වරින් වරයි. හේතුව අයුක්තිය අසාධාරණය වෙනුවෙන් සත්‍ය අනාවරණය කිරීමයි.

සිරිල් කිසිදේකට බිය වුණේ නැහැ අවංකව රාජකාරිය කළා. ඔහු ප්‍රවෘත්තියේ වටිනාකම තේරුම් අරගෙන ‘දිවයින’ පත්‍රයට තොරතුරු සැපයුවා. ඡායාරූප සැපයුවා. ඒකට එයාට වෙලාවක් තිබුණේ නැහැ. සිරිල් මුලින්ම ‘දවස’ පත්තරේ සේවය කළාට පස්සේ ‘දිවයින’ ආරම්භයේ සිටම අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදියා ලෙස ක්‍රියා කළා.

සිරිල් බස්නායක මියගිය ආරංචිය සැලවී ඔහුගේ අනුරාධපුරේ පිහිටි නිවසට පැමිණ සිටි ‘දිවයින’ පොළොන්නරුව වාර්තාකරු කරුණාරත්න ගමගේ ද සිරිල් පිළිබඳව ඔහුගේ අතීත තොරතුරු කීවේය.

සිරිල් පත්තර කලාව ආරම්භයේ සිටියදී මම එම අවධියේදී පත්තරවලට සම්බන්ධවීමට අයැදුම්පත්‍ර සකස් කරමින් සිටියෙමි. මිය යනවිට සිරිල්ගේ වයස අවුරුදු 92කි. උතුරු නැගෙනහිර පැවැති යුද්ධයේදීත්, භීෂණ සමයේදීත් ඔහු ‘දිවයින’ට සිදුකළ සේවාව සුළුපටු නොවීය.

එදා අද මෙන් තාක්‍ෂණ පහසුකම් නොතිබුණි. අනුරාධපුර මායිම් ගම්මානවලට කොටි ප්‍රහාර එල්ල කරද්දී සිද්ධිය හටගෙන පැයක් යෑමට මත්තෙන් දිවා රෑ නොබලා එම ගම්මානයට යන සිරිල් බස්නායක පත්තර මිත්‍රයා එහි ඡායාරූප සියල්ලම රැගෙන ලියන ලද වාර්තා සමග ඡායාරූප පාර්සලය දුම්රියෙන් හෝ බස්රියෙන් හනිකට ‘දිවයින’ට එවීමට ඔහු පුරුද්දක් කරගත්තේය.

රජරට මාධ්‍ය සගයන් ඔහු ඉතා සමීපව ඇසුරු කළ මුත් ඔහු ඔවුන්ට කලින් පුවත් එවීමට පවා දක්‍ෂයකු විය. යාලුකම් කොච්චර තිබුණත් ප්‍රවෘත්ති බෙදාගෙන කරන්නේ නැතැයි දිනක් සිරිල් මා සමග කීවේය.

ප්‍රවෘත්ති සැපයීමේ අවස්ථාවලදී සිරිල් එය මාධ්‍ය සගයන් අතර තරගයක් කරගත්තේය.

මේ හේතුව නිසා රජරට මාධ්‍යවේදීන් අතර වටිනා පුවතක් අතපසු වෙන්නේ ද නැත.

සිරිල් බස්නායකගේ දරුවන් දෙදෙනා වූ සහන් සහ තාරක අද මාධ්‍ය කලාවට පිවිස ඇත.

සිරිල්ගේ බිරිඳ ශීලා බස්නායක ද පත්තර කලාවට සම්බන්ධවී සිටින අනුරාධපුරේ දක්‍ෂ මාධ්‍යවේදිනියකි.

සිරිල් බස්නායක මියයන්නට පැය කීපයක් තිබියදී ‘දිවයින’ පත්තරේට ලිපියක් සකස් කරමින් සිටි බව ශීලා බස්නායක කීවාය.

දැන් නිදිමරන්න එපා යැයි ශීලා ඔහුට පවසා ඇත.

මේ මොහොතේ කවදාවත් සිදු නොකළ අපූරු කතාවක් සිරිල් ශීලාට පවසා ඇත.

අම්මේ මම නිදාගන්න යනවා යැයි ශීලාව අමතා තිබේ.

මොකද අනේ අද කවදාවත් නැතිව ඔයා මගේ තාත්තා වෙන්න හදන්නේ යැයි කියා තමා සැමියාගෙන් විමසූ බවද ඇය කීවාය. සිරිල් බස්නායක සෑම දිනම අවදි වන්නේ පාන්දර හතර පසුවෙලාය. ඔහු මහ පාන්දර තේ උණු කරලා මටත් බොන්නට සලසා මහ පාන්දර ඇවිදින්න යනවා. ආපසු ගෙදර එන්නේ සියලුම දිනපතා පත්‍ර මිලට අරගෙනයි. ඊට පසු පැය කීපයක් පත්තර කියවනවා යැයි ද ශීලා කීවාය. සිරිල් බස්නායකට තිබූ මේ අපූරු පුරුද්ද මම ද කල් තියාම දැනගෙන සිටියෙමි.

මාධ්‍ය කලාවේ නිරතවී සිටින සිරිල් දන්නා හඳුනන මාධ්‍යවේදීන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අනුරාධපුරයට පැමිණෙන අවස්ථාවලදී ඔවුන්ට නවාතැන් පහසුකම් මෙන්ම ඕනෑම උදව්වක් කිරීමට සිරිල් පුරුද්දක් කරගත්තේය. මේ හේතුව නිසා සිරිල් බස්නායක මාධ්‍යවේදීන් අතර ද ඉතාමත් ජනප්‍රිය වී සිටියේය. සිරිල් බස්නායකගේ ‘ෆොටෝ ජෙනික්’ සාප්පුවද ජනප්‍රිය වී ඇත්තේ එහි ඡායාරූප ගන්නා අයට සහනදායී ලෙස ක්‍රියාකිරීම නිසාය.

සිරිල් බස්නායක මාධ්‍ය මිත්‍රයා වෙනුවෙන් ‘රජරට මාධ්‍යවේදියෝ’ සංවිධානය රජරට බෙදාහැරිය සිරිල් පිළිබඳව පළ කළ ශෝක කවි පෙළ මෙහි අඩංගු වී ඇත.

සියනෑ කෝරළෙන් වැව් බැඳි දනවුවට පැමිණි
අඩසිය වසක් ඉක්මවා පෑනෙන් මෙන්ම
කැමරාවෙන් ජනජීවිතයේ කටුක බව
තැලී පොඩිවන පරපුරේ සැබෑ හඬ
ජනගත කරමින්…

සමාජයේ සුදුකළු පැහැ අජීවී කැමරාවෙන්
සජීවී කරණය කළ
සුළවතාණ…

ලැබූ සම්මාන දෙස උපෙක්ෂාවෙන්
බලා සිටියා මිස
ඒවා ඔටුනු බවට පත් නොකළ
සහෘදයාණ…

පෙනෙන වර්ණාවලියෙන්
කළුසුදු පැහැ වෙන්කොට
ලොව හමුවේ තැබූ
වියතාණ…

ඔබෙන් ගිලිහී නිසල වූ පෑනත්, කැමරාවත්,
බලාහිදී
ඔබවන් සංවේදී මිනිසෙකු නැවත එනතුරු

නික්ම ගිය ඔබ අපට මහ මෙරකි
හාත්පස සැමට පෙන්වූ ගිරි හිසකි

රජරට මාධ්‍යවේදියෝ
සංවිධානයේ සාතිශය සංවේගය
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment