සීයාගේ මැණික් මල්ල සොයා නිවසේ කැනීම් කළ මුණුපුරා ඇතුළු 07ක් අත්අඩංගුවට

61

තම මියගිය අත්තා හීනෙන් කියූ මැණික් මල්ලක් ගොඩ දැමීම සඳහා තම නිවස තුළ කැනීම් කරමින් සිටි මුණුපුරකු ඇතුළු පුද්ගලයන් 07 දෙනකු ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

තම පදිංචි නිවස තුළ මෙලෙස කැනීම් සිදු කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පිරිස අතර පිය – පුතු දෙපළක්ද, දූනගහ පදිංචි පුද්ගලයන් දෙදෙනකු, කොටුගොඩ සහ මාරවිල පදිංචිකරුවන් දෙදෙනකු සහ මීමුරේ පදිංචි මන්ත්‍රාචාර්යවරයකුද වන බව පොලිසිය දැනට සිදුකළ විමර්ශනවලදී හඳුනාගෙන ඇත. ඉකුත් 06 වැනිදා රාත්‍රී 10ට පමණ ආරච්චිකට්ටුව – බුරුතකැලේ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර පොලිසිය වැටලීම කරන විට නිවස තුළ අඩි 18 ක් පමණ කැනීම් සිදු කර තිබී ඇත. එම ස්ථානයේ තිබී කැනීම් සඳහා යොදා ගත් උපකරණ සහ පූජා භාණ්ඩ කීපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

නිවසේ කාමරයක් තුළ මැණික් මල්ලක් තිබෙන බවට මියගොස් සිටින තම සීයා මුණුපුරාට හීනෙන් පවසා ඇති බවත්, එම මැණික් මල්ල ලබා ගැනීමේ අරමුණ ඇතිව කැනීම් කටයුතු කළ බව අත්අඩංගුවේ පසුවන නිවසේ හිමිකරු පොලිසිය හමුවේ පවසා ඇත.

සැකකරුවන් හලාවත මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ආරච්චිකට්ටුව පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කරනු ලබයි.

පුත්තලම – නලීන් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment