අගමැති ධුරයෙන් දැවී ගිය ක්‍රිකට් වීරයා සිරගෙට

1430

ඉම්රාන් ඛාන් එරට බලවත් හමුදාව සමග ඇතිකරගෙන තිබු ගැටුම අවසාන වූයේ අගමැති තනතුරද අහිමි කරමිනි. පසුව ශේබාෂ් ෂරිෆ්ගේ ආණ්ඩුව නව හමුදාපති ලෙස පත්කරනු ලැබුවේ ඉම්රාන් ඛාන් අකැමැති ජෙනරාල්වරයෙකි. ඔහු ජෙනරාල් අසීම් මුනීර් වේ. පසුගිය මැයි 09 වැනිදා තමා අත්අඩංගුවට ගනු ලැබුවේද කෙළින්ම හමුදාපතිගේ උපදෙස් මත බව ඉම්රාන්ම පවසා තිබිණි. බීබීසී වාර්තාකරුවෙකු සමඟ කතා කරමින් ඛාන් වැඩිදුරටත් මෙලෙස පවසා තිබිණි. මේ අත්අඩංගුවට ගැනීම පිටුපස සිටින්නේ එක් මිනිසෙකි. ඒ හමුදා ප්‍රධානියා. හමුදාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. මේ සිදුවන දෙයින් හමුදාව අපකීර්තියට පත්වෙනවා. යුද හමුදාපති කනස්සල්ලෙන් ඉන්නේ මම බලයට ආවොත් ඔහුට ප්‍රශ්නයක් වන නිසා.

සිරදඬුවමට ලක්වීමට දිනකට පෙර පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් BBC HARD talk වෙත පවසා තිබුණේ එරට බලවත් හමුදාව මේ වසර අගදී පැවැත්වීමට බලාපොරොත්තු වන මැතිවරණයකට කෙලින්ම අතපොවන බවයි. තම රට “ප්‍රකාශ නොකළ යුධ නීතිය” යටතේ පවතින බවත්, “ෆැසිස්ට්වාදීන්” සිය දේශය “අඳුරු යුගයට” ගෙන යමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි. පකිස්තාන හමුදාව තම පක්ෂය “ලබා ගන්නා” මැතිවරණ ජයග්‍රහණවලින් “භීතියට” පත්ව ඇති බවත්, එම හේතුව නිසා “ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය විසුරුවා හරිමින් සිටින,” බවත් ඛාන් පවසා තිබිණි. දේශපාලනඥයෙකු බවට පත්වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා, 2018 වසරේදී අගමැති ධුරයට පත් කර ගන්නා ලදී.

පසුගිය වසරේදී ඔහු විශ්වාසභංග යෝජනාවකින් එම ධුරයෙන් ඉවත් කෙරිණි. පෙරේදා දිනයේ මේ හිටපු අගමැතිවරයා දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර තුනක සිර දඬුවමකට ලක් කරන ලදී. ඉම්රාන් අගමැති ධුරය දැරූ සමයේ ලැබුණු ත්‍යාග විකුණා උපයා ගත් මුදල ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් ඔහු වරදකරු බවට තීන්දු කර තිබේ. සෙනසුරාදා දෙන ලද තීන්දුව කේන්ද්‍රගත වූයේ, ඉම්රාන් ඛාන් විදේශීය ප්‍රභූවරුන්ගෙන් ලැබුණු තෑගි සහ ඒවා විකිණීමෙන් ලැබුණු ආදායම පිළිබඳ තොරතුරු වැරදි ලෙස ප්‍රකාශ කළ බවට එල්ල වූ චෝදනා මත ය. අදාළ ත්‍යාග බව කියන ඍදකැං ඔරලෝසු, මුද්දක් සහ කෆ් ලින්ක් යුගල පකිස්ථාන රුපියල් මිලියන 140 වඩා වටිනා බව වාර්තා වේ. “ඔහුගේ වංකකම සැකයෙන් තොරව තහවුරු වී ඇත,” විනිසුරු හුමායුන් දිලාවාර් සිය තීන්දුවේ සටහන් කර තිබිණි. මේ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුව උසාවියෙන් පිටත සිටි රජයට පක්ෂපාතී උද්ඝෝෂකයෝ “ඔබේ නාට්‍ය ඉවරයි ඛාන්” යනුවෙන් කෑ ගසන්නට විය.

අත්අඩංගුවට ගත් ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අගනුවර සිට කිලෝමීටර් 85ක් (සැතපුම් 52ක්) පමණ දුරින් පිහිටි එරට ආරක්ෂක හමුදා සමග ඓතිහාසික සබඳතා ඇති පන්ජාබ් පළාතේ අඩු පහසුකම් සහිත ඇටෝක් බන්ධනාගාරයට යවා තිබේ. ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් ගණනාවක් මීට පෙර එම පරිශ්‍රයේ රඳවා තිබූ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉම්රාන් අවසන් වරට මැයි 9 වැනිදා අත්අඩංගුවට ගත් අවස්ථාවේ පකිස්තානය පුරා විරෝධතා පැවැත්විණි. අත්අඩංගුවට ගත් ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනකට විරෝධතාවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල විය. ඉම්රාන් ඛාන්ගේ නීතිඥ ඉන්ටසාර් හුසේන් පන්ජුතා බීබීසීයට පැවසුවේ, මෙම නඩු විභාගය කිසි ලෙසකින් සාධාරණ එකක් නොවන බවත් “චූදිතයාට තමාව ආරක්ෂා කර ගැනීමට කිසි විටෙක අවස්ථාවක් ලබා නොදුන්” බවත් ය. මේ තීන්දුව නිසා වසර 05ක් යනතෙක් හිටපු අගමැතිවරයාට දේශපාලනය කළ නොහැකිය.

ඉම්රාන් ඛාන් 1970 දශකයේ සිට දශක දෙකක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි විශිෂ්ට ක්‍රීඩකයෙකි. ඔහු සිය පෞරුෂත්වය හා ප්‍රජා සේවය ලොව පුරා කීර්තියක් ලබා ඇත. පාකිස්තානයට 1992 වසරේ ලෝක කුසලානය දිනා දුන් නායකයා ඉම්රාන් ඛාන් බව නොරහසකි. 1992 මාර්තු මාසයේ 25 වැනිදා ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවරදී එක්දින ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ඔහු මිලියන ගණනාවක ක්‍රීඩාලෝලීන් හමුවේ ප්‍රකාශ කර සිටියේ කුමක්ද?

“මගේ ලෝකයේ සිහින දෙකක් තිබුණා. එකක් පිළිකා රෝගයෙන් මෙලොව හැර ගිය මගේ ආදරණීය මව වෙනුවෙන් ජනතාවට පිළිකා රෝහලක් ඉදිකරදීම. අනික මගේ නායකත්වයෙන් පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානයක් අත්කර දීම. මේ සිහින දෙකම මගේ ජීවිතයේ සැඳෑ සමයේදී සැබෑ කරගැනීමට මට හැකියාව ලැබුණා.” ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනය, දේශපාලනය හා ආර්ථිකය පිළිබඳ උපාධිධාරියකු වන ඉම්රාන් ඛාන් එවකට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සිටි එකම උපාධිධාරියා ද වූයේය. එක අවස්ථාවක ඉම්රාන් සිය කණ්ඩායම සමග ඉන්දියාවේ කළ සංචාරයක් අතරතුර බොලිවුඩ් සිනමාවේ රංගනයට එක්වන්නැයි ඇරයුම් කළ චිත්‍රපට නිෂ්පාදකවරුන් ද විය. ඒ සියලු ඇරයුම් ඔහු ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඇයි ඉන්දියාවට නළුවන්ගේ අඩුවක් තිබෙනවා දැයි සරදම් කරමිනි. ඔහු 2018 වර්ෂයේ ජුලි මාසයේ සිට 2022 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා පාකිස්තානයේ අගමැතිවරයා ලෙස ක්‍රියා කළේය. අගමැති ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු, ඉම්රාන් ඛාන් කඩිනම් මැතිවරණයක් ඉල්ලා විරෝධතාවල නිරත විය. මැතිවරණය මේ වසර අගදී පැවැත්වීමට නියමිතය. පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ වුවද, මිලියන 230ක ජනගහනයක් සහිත පාකිස්තානය තුළ ඉම්රාන් ඛාන් අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටියි. නමුත් හමුදාව ඔහුට අකැමැතිය. පසුගිය නොවැම්බරයේදී නැගෙනහිර වසිරාබාද් නගරයේ විරෝධතා පා ගමනක් පවත්වමින් සිටිය දී ඉම්රාන්ගේ රථ පෙළට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවා ගැනීමට හිටපු අගමැති සමත්විය. ඔහුගේ රථයට එල්ලවූ වෙඩි ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ පාදයට තුවාල සිදුවිය. මින් එක් අයෙකු මියගිය අතර, අවම වශයෙන් තවත් පස්දෙනකු තුවාල ලබා තිබිණි. ඉම්රාන් මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ හමුදාව බව චෝදනා කරයි. මේ සිද්ධියට සම්බන්ධව පාපොච්චාරණය කරන පුද්ගලයෙකුගේ වීඩියෝවක් එරට පොලිසිය විසින් නිකුත් කර තිබුණු අතර වෙඩික්කරු පවසා තිබුණේ “ඔහු මිනිස්සුන්ව නොමඟ යවනව. මට ඔහුව මරන්න ඕනෙ වුණා. මම මරන්න හැදුවා,” යනුවෙනි.

ඉම්රාන් ඛාන් එරට බලවත් හමුදාව සමග ඇතිකරගෙන තිබු ගැටුම අවසාන වූයේ අගමැති තනතුරද අහිමි කරමිනි. පසුව ශේබාෂ් ෂරිෆ්ගේ ආණ්ඩුව නව හමුදාපති ලෙස පත්කරනු ලැබුවේ ඉම්රාන් ඛාන් අකැමැති ජෙනරාල්වරයෙකි. ඔහු ජෙනරාල් අසීම් මුනීර් වේ. පසුගිය මැයි 09 වැනිදා තමා අත්අඩංගුවට ගනු ලැබුවේද කෙළින්ම හමුදාපතිගේ උපදෙස් මත බව ඉම්රාන්ම පවසා තිබිණි. බීබීසී වාර්තාකරුවෙකු සමඟ කතා කරමින් ඛාන් වැඩිදුරටත් මෙලෙස පවසා තිබිණි. මේ අත්අඩංගුවට ගැනීම පිටුපස සිටින්නේ එක් මිනිසෙකි. ඒ හමුදා ප්‍රධානියා. හමුදාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. මේ සිදුවන දෙයින් හමුදාව අපකීර්තියට පත්වෙනවා. යුද හමුදාපති කනස්සල්ලෙන් ඉන්නේ මම බලයට ආවොත් ඔහුට ප්‍රශ්නයක් වන නිසා. මේ සියල්ල සිදුවන්නේ ඔහුගෙන් සෘජු නියෝග මතයි. හිටපු අගමැතිවරයා ඉස්ලාමාබාද් නුවරදී අත්අඩංගුවට ගත් රේන්ජර් නම් අතුරු හමුදාවට අණ ලැබෙන්නේද හමුදාපතිගේ නියෝග හරහාය.

2018 වසරේදී හමුදාවේ වඩා හිතෛෂී පුද්ගලයා ලෙස සැලකූ ඉම්රාන් ඛාන් වසර කිහිපයක් ගතවෙද්දී ඔවුන්ට ශාපයක් ලෙස මතු විය. 2018 නොවැම්බරයේදී, පන්ජාබ් ප්‍රාන්තයේ ඉන්දියාව සමඟ නව දේශ සීමා හරස් මාර්ගයක් විවෘත කිරීමේ උත්සවයකදී ඉම්රාන් ඛාන් කියා සිටියේ තම රජය, සියලුම දේශපාලන පක්ෂ හා ආයතන සහ හමුදාව “එකටම” සිටින බවයි. 2020 දී, අල් ජසීරා සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, ඔහු හමුදාව සමඟ “වඩාත්ම සුහද සම්බන්ධතාවක්” ඇති බවට ඔහුගේ ප්‍රකාශය නැවත අවධාරණය කළේය. නමුත් දැන් ඉම්රාන්ට අවසානයේ සිරබත් කන්නට සිදු වූයේද හමුදාව සමග ඇති ගැටුම නිසාය. එය ඉම්රාන් ඛාන් අසීම් මුනීර් බල අරගලය ලෙස නම් කළ හැකිය.

අගමැති ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු, ඉම්රාන් ඛාන් කඩිනම් මැතිවරණක් ඉල්ලා විරෝධතා කටයුතුවල නිරත විය. මැතිවරණය මේ වසර අගදී පැවැත්වීමට නියමිතය. ඉම්රාන්ගේ ආධාරකරුවන් පවසන්නේ ඔහුට එරෙහිව නීතිමය නඩු 100 කට වඩා පවතින බවයි. පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ වුවද, මිලියන 230ක ජනගහණයක් සහිත පාකිස්තානය තුළ ඉම්රාන් ඛාන් අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටියි. ව්‍යවස්ථානුකූලව නොවැම්බර් මුල වන විට මැතිවරණ පැවැත්විය යුතු වුවද මැතිවරණ දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අගනුවර පිහිටි මහාධිකරණය ඉදිරිපිටදී පසුගිය මැයි 09 වැනිදා අත්අඩංගුවට පත්වුවත් එය නීති විරෝධී බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවේ මැයි 11 වැනිදාය. එලෙසම මෙම නඩු තීන්දුවට එරෙහිවද ඉම්රාන්ගේ ආධාරකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටිති. දූෂණ චෝදනා සම්බන්ධයෙන් තමන්ට වසර තුනක සිර දඬුවමක් නියම වීමෙන් පසු මේ තීන්දුවට එරෙහිව රට පුරා විරෝධතා පවත්වන ලෙස ඉම්රාන් ඛාන් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. “මට තියෙන්නේ එක ඉල්ලීමක් විතරයි, කවුරුත් ගෙදරට වෙලා වාඩි වෙලා නිශ්ශබ්දව ඉන්න එපා. මම මේ අරගල කරන්නේ ඔබේත්, රටේත් ඔබේ දරුවන්ගේත් අනාගතය වෙනුවෙන්,” ඔහු විසින් නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයක සටහන්ව තිබිණි.

2018 දී ජනප්‍රිය තරුවක් වූ ඛාන් “නව පකිස්තානයක්” පිළිබඳ දර්ශනයක් මවාපාමින් වසර ගණනාවකට පසුව අනෙකුත් ප්‍රධාන පක්ෂ අභිබවා බලයට පත් විය.

ඔහු දරිද්‍රතාවයට එරෙහි ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස පෙනී සිටිමින්, ධනය බෙදී යන “ඉස්ලාමීය සුබසාධන රාජ්‍යයක්” ගොඩනැගීමේ ඔහුගේ සිහිනය ගැන කතා කළේය. ඔහු රටේ බදු ක්‍රමය සහ නිලබල ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම වැනි පොරොන්දු ලබා දුන්නේය. එහෙත් ඒ වෙනුවට, උද්ධමනය ඉහළ ගියේය. පකිස්ථානු රුපියල කඩා වැටී රට ණය බරින් ඉතිරී ගියේය. ඛාන් ආර්ථිකය වැරදි ලෙස හසුරුවා ඇති බවට විවේචන දසතින් එල්ල වන්නට පටන් ගත්තේය. ඉක්මනින්ම ඔහුගේ සිහින රාජ්‍යය බිඳ වැටී ගියේය. අවසානයේ සිරබත් කන්නට සිදුවිය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment