කටුවපිටියේ නැඟුණු කඳුළු!

73

පාස්කු ප්‍රහාරය සිදුවී 21 දාට වසර හතරක් ගතවී ඇතත් එම ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අයවලුන්ට තුවාල ලැබූවන්ට සහ සදාකාලික ආබාධ තත්ත්වයට පත්වූ වින්දිතයන්ට රජයෙන් සාධාරණ යුක්තියක් ඉටුනොවීම පිළිබඳ යුක්තිය සහ සාධාරණත්වය වහා රජය මගින් ඉටුකිරීමට බලකරමින් මිනිස් ජන පවුර සහ විශේෂ දේව මෙහෙයන් මීගමුව කටුවාපිටිය දේවස්ථානයේදී 21දා උදෑසන ආරම්භ විය.

එම ආගමික වැඩසටහන ආරම්භ කරමින් පළමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් පැවැත්විණි. ඉන් අනතුරු පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් කටුවාපිටිය දේවස්ථානයේදී මරණයට පත්වූවන් සිහිකරමින් දේවස්ථාන භූමිය තුළ පිහිටුවා ඇති සමරු ස්මාරකයට මියගිය අයවලුන්ගේ ඥාති හිත මිතුරන් විසින් පුෂ්පෝපහාරයක් පැවැත්විණි. ඉන් අනතුරුව දේවස්ථානයේ සිට පා ගමනින් මිනිස් ජන පවුර ආරම්භ කිරීම සඳහා අත්වැල් බැඳගැනීම සඳහා බැතිමතුන් පිරිස පිටත් වූහ. කටුවාපිටිය දේවස්ථානයට එල්ල කළ පාස්කු ප්‍රහාරයෙන් 300කට අධික පිරිසක් මරුමුවට, සදාකාලික ආබාධිත තත්ත්වයට සහ තුවාල වලට ලක්වූහ.

ඉන් අනතුරුව කටුවාපිටිය දේවස්ථානයේ සිට මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගය දෙපස දහස් ගණනක බැතිමතුන් සංඛ්‍යාවක් අත්වැල් බැඳ මිනිස් ජනපවුරට එක්විය. එහි සිටි බැතිමතුන් ආගමික ස්තෝත්‍ර ගයන්න වූ අතර තවත් පිරිසක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය මගින් ක්‍රියාකළ ආකාරය පිළිබඳව අප්‍රසාදය සඳහන් කළ පුවරු අතතිව සිටියහ. එම විරෝධතාවට මීගමුව කලාපීය රදගුරු අති උතුම් මැක්ස්වල් සිල්වා, ජේ. ඩී. ඇන්ටනි යන රදගුරුවරුන් සහ මීගමුව කලාපීය කිතුනු නායක සිස්වාන් ද කෲස් පියතුමන් ඇතුළු බැතිමතුන් දහස් ගණනක්, කිතුනු පියවරුන්, කන්‍යා සොහොයුරියන් සහභාගි වූහ. ඉන් අනතුරුව කටුවාපිටිය දේවස්ථානයේදී පාස්කු ප්‍රහාරයෙන් මියගිය බැතිමතුන් මිහිදන් කළ කටුවාපිටිය ඩේවිඩ්වත්ත සුසාන භූමියේ මිහිදන් කළ බැතිමතුන් වෙනුවෙන් ආසිරි ගැන්වීම සිදුකරන ලදී.
මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment