නුවරඑළිය තැපෑල හෝටලයක් කරනවාට විරුද්ධව රීට් ආඥාවක් ඉල්ලීම සළකා බැලීම මාර්තු 06 දා

70

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් ලෙසට නම්කර ඇති නුවරඑළිය මූලස්ථාන තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ල නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන සංචාරක හෝටලයක් පවත්වාගෙන යෑම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට රජයට ගෙන ඇති තීරණය වළක්වන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රීට් ආඥා පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මාර්තු 06 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (07 දා) දින නියම කළේය.

නුවරඑළිය ප්‍රදේශවාසියකු වන කහඳගමගේ පියසේන මහතා විසින් ගොනුකර ඇති එම පෙත්සම මායාදුන්නේ කොරයා හා උදය බණ්ඩාර කරල්ලියද්ද යන මහත්වරුන් හමුවේදී කැඳවිණි.

එම පෙත්සමේ වගඋත්තරකාරුවන් ලෙස ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නාගරික සංවර්ධන අධිකාරිය, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා, තැපැල්පතිවරයා ඇතුළු 13 දෙනකු නම්කර තිබිණි. එම ගොඩනැඟිල්ල නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට හෝ ඉන්දියානු සමාගමකට පවරාදීමට මෙතෙක් පරිපාලන තීරණයක් ගෙන නැතැයි වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පැවසූහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment