ලෙඩ නිවාඩු දමා පදවියේ හොර හරක් ජාවාරම් කළ කොස්තාපල් අත්අඩංගුවට – අනුබල දුන් පශු වෛද්‍යවරයාත් මාට්ටු

86

අනුරාධපුර පොලිස් අධිකාරී කොට්ඨාසයේ පොලිස් ස්ථානයක සේවය කරමින් සිටි කොස්තාපල්වරයෙක් ලෙඩ නිවාඩු දමා හොර හරක් ජාවාරමක යෙදී සිටියදී පදවිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිලධාරියාට මේ සඳහා අනුබල දුන් පශු වෛද්‍යවරයකුද මෙසේ පොලිස් අත්අඩංගුවට පත්වී ඇත. මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩ තහනමට ලක්කර තිබේ.

කොස්තාපල්වරයා පදවිය පළාතේ ඉඩම්වල හරක් බැඳ සිටින ස්ථානවලට ගොස් තමන්ගේ හරක් බව පවසා පශු වෛද්‍යවරයාගේ අනුමැතිය සහිතව මස්කඩ හිමියන්ට මෙම හරක් විකුණා ඇති අතර මේ අන්දමින් ඔහු එක් වතාවකදී හරක් හය දෙනෙක් විකුණා පසුව තවත් හරක් අටදෙනෙක් මෙසේ විකුණා තිබේ. හරක් අයිතිකරුවන්ගේ පැමිණිලි අනුව විමර්ශන කළ පදවිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්. කුමාරසිරි මහතා මෙම හරක් මිලට ගත් වැලිසර ප්‍රදේශයේ හරක් මස් වෙළෙඳසැල් හිමියකුගේ ප්‍රකාශ අනුව මෙම හොර හරක් ජාවාරම සිදුකළ කොස්තාපල්වරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

පශු වෛද්‍යවරයා මෙම හරක් කිසිදු පරීක්‍ෂණයකට භාජනය නොකර හරක් ප්‍රවාහනයට ලිඛිත අවසර නිකුත් කිරීම නිසා ඔහුත් මෙසේ පොලිසියට කොටුවී ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment