ගුරුවරයාට සට්ටැබිරාල කියන්න තරම් තත්ත්වයකට ජනාධිපති අද පත්වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

134

මහචාර්ය ජී.එල්. පිරිස් මහතා කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ගුරුවරයෙකු බවත් තමන්ගේ ගුරුවරයාට සට්ටැබිරාල කියන තත්ත්වයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පත්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (12දා)පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒමහතා මෙසේද පැවැසීය.

තරුණ පරම්පරාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සීයා කෙනෙක්. ජනාධිපතිවරයා කුලියාපිටියට ලංකාවේ සිටින සියලු‍ම පළාත් පාලන අපේක්ෂකයන්ව ගෙනල්ලා පොඩි විනෝදයක් ගත්තා. ත්‍රිකුණාමලයට ගිය අවස්ථාවේ ඔහු කිව්වා ත්‍රිකුණාමලය ආයෝජන කලාපයක් කරනවා කියලා. නුවරඑළියට ගියාම කිව්වා නුවරඑළිය සංචාරක කලාපයක් කරනවා කියලා. ගාල්ලට ගියාම ගාල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කලාපයක් කරනවා කියලා. මේවැනි දේවල් කිව්වට තවම කිසිදු දෙයක් රට වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කරලා නෑ.

2024දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුනොත් ඔහු අවුරුදු 80 පැනපු ජනාධිපතිවරයෙක්. අවුරුදු 80 පැනපු ජනාධිපතිවරයෙකුට රටේ තරුණ පරම්පරාව පිළිබඳව කිසිදු හැඟීමක් නෑ. එවැනි ජනාධිපතිවරයෙකුට රටේ ඕනෑම දෙයක් විකුණන්න පුලු‍වන්, රටේ ඕනෑම දෙයක් නැති කරලා දාන්න පුලු‍වන්. ඕන තරම් ණය ගන්න පුලු‍වන්. එහෙම වුණාම රටේ ජනාධිපති නෙවෙයි ණයකාරයා බවට පත්වෙන්නේ ණයකාරයෝ වෙන්නේ රටේ තරුණ ප්‍රජාව.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති වුණේ පිනට. රනිල් වික්‍රමසිංහට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 29,000ක් ගන්න බැරි වුණා. මම කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 97,000 ක් ගත්තා. මගේ ගාණටවත් ඡන්දය ගන්න බැරි පුද්ගලයෙක් රාජපක්ෂලාගේ සට්ටැබිරාල වෙලා ඉන්නවා. රාජපක්ෂලාට ජන මතයක් නෑ කියලා දැනගත්තාම රාජපක්ෂලාගේ සට්ටැබිරාලට කේන්ති යනවා. ඒකට වෙන වෙන පුද්ගලයින්ට බැනලා වැඩක් නෑ. සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය කෙරෙහි තියෙන, ඉරිසියාව, කුහකකම, වෛරය, ක්‍රෝදය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කුලියාපිටියේදී සිදුකළ කතාවෙන් එළියට ආවා.

ශිෂ්ඨ සම්පන්න මිනිස්සු විදිහට අපි තවම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කතා කරන්නේ සර් කියලා. රනිල් වික්‍රමසිංහ අපේ හිටපු නායකයා. ඔහුගේ සියලු‍ වැඩවලට විරුද්ධයි. නමුත් අපි ඔහුට සර් කියලා කතා කරනවා. ඒක තමයි යුක්ති ගරුක සමාජයක විදිහ. මහචාර්ය ජී.එල්. පිරිස් කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ගුරුවරයා. තමන්ගේ ගුරුවරයාට සට්ටැබිරාල කියන තත්ත්වයකට අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වෙලා තිබෙනවා. පරාජයේ අඳුරු සෙවනැලි දැකලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වියරු වැටිලා ඉන්නේ.

සමගි ජන බලවේගය මහාචාර්ය ජී.එල් පීරිස්ට කවදාවත් හොරා කියලා බැනලා නෑ. මහාචාර්ය ජී.එල් පීරිස් හොරෙක් කියලා කිසිදු තැනක සඳහන් වෙලත් නෑ චෝදනා ලබලත් නෑ. ඔහු උගත් බුද්ධිමත් පුද්ගලයෙක්.

advertistmentadvertistment
advertistmentadvertistment