ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා එක්වුණොත් රට සීග්‍ර සංවර්ධනයකට ගෙනයා හැකියි

255

10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ ජනාධිපති කියයි

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා එක්වුණොත් රට සීග්‍ර සංවර්ධනයකට ගෙනයා හැකියි

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ත්‍රිකුණාමලය කෝනේෂ්වරා හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භක අවස්ථාවට ඊයේ (21 දා) පෙරවරුවේ එක්වෙමිනි.

ජාති, ආගම් පදනමින් කිසිවෙකුත් ජාතික බාලදක්ෂ ජම්බෝරිය නියෝජනය නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට එකමුතුවක් නිර්මාණය කර ගත හැකි බවද කියා සිටියේය.

ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා එක්වුණොත් රට සීග්‍ර සංවර්ධනයකට ගෙනයා හැකියි

රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය අනුහග්‍රහය ලබාදෙන බව මෙහිදී පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලස විවෘත කෙරිණි.

‘වෙනසක් සඳහා නායකත්වය’ යන තේමාව යටතේ පෙබරවාරි 20 වනදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ජාතික ජම්බෝරියට දෙස් විදෙස් බාලදක්ෂයන් සහ බාලදක්ෂ නායකයන් 11,500ක පමණ පිරිසක් එක්ව සිටිති. ප්‍රථම වතාවට බාලදක්ෂිකා ව්‍යාපාරය නියෝජනය කරමින් කණ්ඩායමක් කඳවුරට එක්ව සිටින අතර පෝතක බාලදක්ෂයන් සඳහා ද මෙවර අවස්ථාව හිමිකර දී තිබීම විශේෂත්වයකි.

10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ශ්‍රී ලංකා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් පිළිගත් අතර ජනාධිපතිවරයා වෙත ජම්බෝරි කර පටිය සහ පදක්කම පැළඳවීම ද සිදු කෙරිණි.

ජාතික බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු වූ අතර ප්‍රධාන සමරු කලාපය ඇතුළු දිස්ත්‍රික් මට්ටමින් නිර්මාණය කළ සමරු කලාප ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව නිල ඇඳුම ප්‍රදානය සංකේතවත් කරමින් එය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද ජම්බෝරි සිහිවටනය සහ සමරු තිළිණ පිළිගැන්විණි.

10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ ස්ථාපිත කර තිබෙන කඳවුරු නිරීක්ෂණය සඳහාද අනතුරුව එක්වූ ජනාධිපතිවරයා බාලදක්ෂ බාලදක්ෂිකාවන් සමඟ සුහද කතා බහක ද නිරත විය

ඇමරිකාව, ඕස්ට්‍රඵී ලියාව, කැනඩාව, ස්වීඩනය, ඔස්ට්‍රියාව, එංගලන්තය, ප්‍රංශය, පෘතුගාලය, ඉන්දියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, පාකිස්තානය ,බංග්ලාදේශය, නේපාලය, මැලේසියාව, වියට්නාමය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් 28ක බාලදක්ෂයින් 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා එක්ව සිටී.

ජම්බෝරිය පැවැත්වෙන සෑම දිනකම බාල දක්ෂයන් සඳහා විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන අතර ගිනි මැල සන්දර්ශන, සංස්කෘතික සංදර්ශන ද ඊට ඇතුළත් වේ. අද (21) සිට පෙරවරු 9.00 සිට රාත්‍රි 9.00 දක්වා මහජනතාව වෙනුවෙන් ජම්බෝරිය විවෘත කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය

10 වනි බාලදක්ෂ ජම්බෝරිය අද ත්‍රිකුණාමලයේදී පැවැත්වෙනවා. ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම බාලදක්ෂ බාලදක්ෂිකාවන් මීට සහභාගී වී සිටිනවා. අද ඔබ මීට සහභාගී වන්නේ තමන්ගේ පාසල වෙනුවෙන් නොවෙයි, තමන්ගේ ආගම වෙනුවෙන් නොවෙයි, තමන්ගේ ජාතිය වෙනුවෙන් නොවෙයි, අද ඔබ මෙතනට පැමිණ සිටින්නේ ශ්‍රී ලාංකික බාලදක්ෂයෙක් ලෙසයි. අප සියලුදෙනාම ශ්‍රී ලාංකිකයෝ.

මෙතනට පැමිණි සියලුදෙනාටම පළමුව මගේ ස්තූතිය ප්‍රකාශ කරනවා. අද ඔබ සියලුදෙනාගේ මේ සාමුහිකත්වය පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විශාල සම්බන්ධතාවක් ගොඩනඟනවා. ඒ වගේම කොළඹ සහ ත්‍රිකුණාමලය දක්වා මිත්‍රත්වයක් ගොඩනැගෙනවා. ඔබේ එකමුතුකම වැඩි වෙනවා.ඒ නිසා මේ ජම්බෝරිය මඟින් විශේෂ මෙහෙවරක් සිදු වෙනවා.

ඒ වගේම මෙවැනි ව්‍යාපාර තුළින් නව දැනුම හා නව තාක්ෂණය ලබාදිය හැකියි. ඒ වගේම ලබන වසරේ ජාතික බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙන අවස්ථාව වන විට කෘත්‍රිම බුද්ධිය ලබාදිය හැකියි. නව දැනුම ලබාදෙන මාර්ගයක් ලෙසත් මෙම බාලදක්ෂ ව්‍යාපාරය අපට භාවිතයට ගත හැකියි. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ වැඩකටයුතු කිරීමට අවස්ථාව සලසාදීමට මම බලාපොරොත්තු වෙනවා.

කෘෂිකර්ම නවීකරණය, පරිසරය ආරක්ෂා කිරීම වැනි ක්ෂේත්‍රද මෙම බාලදක්ෂ ව්‍යාපාරය සමග එක් කිරීමට අපේ සහාය ලබාදෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයෙන් අප බලාපොරොත්තු වෙන්නේ රට වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටු කරයි කියලා. දැනට ඔබ එය සිදු කර තිබෙනවා. අනාගතයේදී එය තවදුරටත් ශක්තිමත්ව සිදු කරනු ඇතැයි අප බලාපොරාත්තු වෙනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල, ජම්බෝරි නායක ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, ආසියා ශාන්තිකර කලාපයේ උපසභාපති හා ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නියෝජිත සයිමන් බොක්‍රේ, බාලදක්ෂ කඳවුරු සංවිධායක කොමසාරිස් සරත් මාතරආරච්චි, ජාතික පුහුණුවීම් කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ කුසන්තා හේරත්, නියෝජ්‍ය ජම්බෝරි නායක නියෝජ්‍ය කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment