දෙරටක උරුමකම් ඇති උරුමය අහිමි අහිංසකයෝ

ඉන්න හිටින්නට තැනක් නැතුව ඩොලර් හොයන සුපර්මෑන්ලා

වතු කම්කරුවන්ට වත්තෙන් එපිට සබඳතා එපා ද

වතුකරයට මේ මාසය ආරම්භ වූයේ සුබදායක පණිවිඩයක් සමගිනි. ඒ කුරුණෑගල මාවතගම මුවන්කන්ද වතුයායේ ජේ. සුරේෂ් විසින් ගොනු කරන ලද පෙත්සමකට ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිබඳ පණිවිඩයයි. වසර ගණනාවක් තිස්සේ වතුකරයේ ඡන්ද පොරොන්දු ගොන්නේ වැඩි බරක් තැබූ පොරොන්දුවක් වූයේ ස්ථිර ලිපින ලබාදීම යන කාරණයයි. වතු කම්කරුවන්ට ලංකාවට පැමිණ වසර දෙසියයක් සම්පූර්ණ වූයේ මේ වසරේදීය. එය සැමරීම වෙනුවෙන් ඔවුන් තලෛමන්නාරමේ සිට මාතලේ දක්වා ආ පා ගමනේදී ඉදිරිපත් කළ ඉල්ලීම් එකොළහ අතර ස්ථිර ලිපිනයක අවශ්‍යතාව ද මතුකර තිබිණි. එහෙත් අවාසනාවකට මෙන් ඒ පොරොන්දුව විටින් විට ඉස්මතුව සැඟව යන කාරණයක් වූවා මිස වැඩි දෙනෙකුගේ එනම් රටේ බහුතරයකගේ අවධානයට ලක් නොවුණු කාරණයක්ව තිබිණි. ලිපිනයක් ලබාදීම ඡන්ද පොරොන්දුවක් වන්නට තරම් වැදගත් වන්නේ මන්ද යන්නත්, ලිපිනයක් ලබා ගැනීමේ අරමුණෙන් ඡන්දය ලබා දෙන්නේ මන්ද යන්නත්, ලිපිනයක් ලබා ගැනීමේ අරමුණෙන් ඡන්දය ලබා දෙන්නේ මන්ද යන්නත් වතුකරයෙන් බැහැරව වෙසෙන ඇතැමුන්ට තවමත් එතරම් පැහැදිලි නැති කාරණාවකි. ඒ පිළිබඳ යම් තරමක හෝ අවබෝධයක් ලබා දෙනු පිණිස මෙම සටහන තබන්නේ ලිපිනයක් නැතිව ජීවත් වන, ජීවත් වූ බොහෝ දෙනෙකුගේ කතාව පෙළ ගස්වන්නටය.

අහිමි කළ “විලාසම” නිසා අහිමි වූ හිමිකම්.’

තැපැල් ලිපින පිළිබඳ සඳහන් වන ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳ විමසා බලන කල සෑම පුරවැසියෙකුටම ජීවත්වීම සඳහා ඉඩමක හිමිකාරීත්වය තිබීම ප්‍රධාන අයිතිවාසිකමක් වශයෙන් ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ සඳහන් කර තිබේ. නමුත් තැපැල් ලිපින නොමැති වීම හේතුවෙන් වතුකරයේ බහුතරයකට ඡන්දය ලියාපදිංචි කිරීම, ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම, විවාහ ලියාපදිංචි කිරීම, බැංකු ගිණුම් විවෘත කිරීම හා අනෙකුත් බැංකු කටයුතු, මරණ සහතික ලබා ගැනීම, විභාග සඳහා ලියාපදිංචි වීම, පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම, සමෘද්ධි සහනාධාර වැනි සුබසාධන දීමනා ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් ලබා ගැනීම, රජයේ රැකියා සඳහා ඉල්ලුම් කිරීම වැනි කටයුතු ඉටුකර ගැනීමේ දී බොහෝ අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වේ. එය උඩරට,මැදරට, පහතරට ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු වල කම්කරුවන්ට ද, පෞද්ගලික වතු සමාගම් වල කම්කරුවන්ට ද පමණක් නොව ඉඩම් හිමි වැවිලිකරුවන්ගේ වතු වල සේවය කරන කම්කරුවන්ට ද තත්ත්වය එලෙසම ය.

කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොක්කාවිට ග්‍රාම නිලධාරී වසෙමේ කුඩා තේ වත්තක කම්කරුවෙක් ලෙස සේවය කරන වීරප්පන් මාරියන් “අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමී කොච්චර මහන්සි වෙලා වැඩ කළත් වත්ත අයිති කෙනාට අපිව එපා හිතුණොත් මේ දැන් වුණත් අපිට යන්න කියන්න පුළුවන්. අපි වැඩ කරන්න ඕන අපිට පුළුවන් තරමට නෙවෙයි. වත්තේ මහත්තයා සතුටු වෙන තරමට. ලෙඩක් දුකක් කරදරයක් වෙලා දවසක් දෙකක් වැඩ කරන්න බැරි වුණොත් අපිට යන්න කියනවා. වැටිලා ඉන්න තැනක් ඕන නිසා මොන දුක විඳගෙන හරි වැඩ කරන්න තමයි බලන්නෙ. එහෙම නොවුණොත් වත්තෙන් යන්න වෙනවා. ඒ කොච්චර මහන්සි වෙලා වැඩ කළත්, අපේ පොඩි වරදක්වත් නැතුවත් යන්න කියන අවස්ථා තියෙනවා. මොකද වතු හිමියො හිතනවා අපි දීර්ඝ කාලයක් තිස්සේ වත්තෙම හිටියොත් වත්තට අයිතිවාසිකම් කියයි කියලා. එහෙම කිසිම හේතුවක් නැතුව වතු වලින් යන්න කියපු අවස්ථා අපේ ජීවිතේ ඕන තරම් තියෙනවා. තැනින් තැනට මාරු වෙවී යන අපිට, කාටවත් කියන්න පුළුවන් ස්ථිර ලිපිනයක් නෑ. මගේ වයස අවුරුදු 56ක් වුණාට මම කවදාවත් තාම ඡන්දය පාවිච්චි කරලා නෑ. මගේ තාත්තා ඉන්දියාවේ ඉපදුණු කෙනෙක්. එයා පොඩි කාලෙ ආච්චි සීයා මෙහේට ඇවිත්. එදා ඉඳන් තාත්තා මැරෙනකල්ම හිටියේ ලංකාවේ. මතුගම ඩෙල්කිත් වත්තේ තමයි අපි පරම්පරා තුනක්ම හිටියේ. ආච්චි, සීයා,අම්මා තාත්තා, අපිත් මෑතක් වෙනකල් හිටියේ ඒ වත්තේ. ඡන්දය ලියාපදිංචි කරන හැම වෙලේම තාත්තා ඉන්දියාවේ ඉපදුණු එක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඡන්දෙ ලියාපදිංචි කරන්න බෑ කියනවා. ඡන්ද නාම ලේඛනයේ නම නැති නිසා රජයෙන් දෙන කිසිම සහනාධාරයක් මෙච්චර කාලෙකට ලැබිලා නෑ. දැන් අපිට ඕන අපේ දරුවන්ට හරි අපිට වුණ ප්‍රශ්න නොවී ඉතුරු කාලෙ කරදරයක් නැතුව ගෙවන්න විදියක් හදලා දෙන්න.”

පුරවැසි පනතින් අහිමි වූ පුරවැසි අයිතිය

වතුකරයේ විලාපය "විලාසම්"

ඡන්ද අයිතිය සෑම පුරවැසියෙකුගේම අයිතියක් බව සඳහන් වුව ද වතුකරයට එය එලෙසින්ම ක්‍රියාත්මක වන්නේ නැත. මීට වසර දෙසියයකට පමණ ඉහත දී බි්‍රතාන්‍ය පාලන සමයේ මෙරටට කැඳවාගෙන ආ දකුණු ඉන්දීය කම්කරුවන් සංඛ්‍යාව 1827 වන විට 10,000ක් වූ අතර, එය 1921 වන විට 603,000ක් දක්වා ද ,1949 දී 757,264 දක්වා ද වර්ධනය වූ අතර එය මුළු ජනගහනයෙන් 12%ක් පමණ විය. 1964 වන විට ශ්‍රී ලංකාවේ ඉන්දියානු දෙමළ ප්‍රජාව සංඛ්‍යාත්මකව මිලියනය දක්වා වර්ධනය විය. 1931 සහ 1936 මැතිවරණවල දී ඡන්දදායකයන්ගෙන් 6%ක් ඉන්දියානු දෙමළ වූහ. 1947 මැතිවරණයේදී ඉන්දියානු දෙමළ ජනතාව නියෝජනය කළ අපේක්ෂකයෝ ආසන 7ක් දිනා ගත්හ. නමුත් 1948 සහ 1949දී සම්මත කරන ලද පුරවැසි පනත් හරහා පුරවැසිභාවය සඳහා ඇතැම් නිර්ණායක සම්පූර්ණ කළ හැකි අය පමණක් පුරවැසියන් ලෙස පිළිගැනීමටත්, මෙම පුරවැසි පනත හරහා සියලුම ඉන්දියානු දෙමළ ජනතාවගේ නම් ඡන්ද නාම ලේඛනවලින් ඉවත් කිරීමටත් ශ්‍රී ලංකා රජය කටයුතු කරන ලදි. මේ හේතුවෙන් ඔවුන්ට ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස අලුතින් අයැදුම් කිරීමට සිදු වූ අතර ඒ සඳහා විශේෂ’ සුදුසුකම් අවශ්‍ය විය. ඒ වන විට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය සඳහා 825,000ක් අයැදුම් කර තිබුණද 1948 ‘පුරවැසි පනත‘ හේතුවෙන් 1965 වන විට පුරවැසියන් වීම සඳහා සුදුසුකම් ලබා තිබුණේ 134,000ක් පමණි. 1964 දී ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය එක්ව අත්සන් කළ ඉන්දු ලංකා
ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ විසූ ඉන්දීය දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය, පුරවැසි අයිතිය පමණක් නොව අතිශය සංවේදී මානුෂීය කාරණා ද අත්තනෝමතික ලෙස උල්ලංඝනය කෙරිණි.

වට වන්දනාවේ යන ලියුම්

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉතා දුෂ්කර වතු යායක් වන දෝතල්ඔය වතුයායේ පදිංචි එස්. සදාසිවම් ස්ථිර ලිපිනයක් නැති නිසා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ පෑ අයෙකි. ඔහු ද සුරේෂ්ගේ පෙත්සමට කරුණු ගොනු කළ අයෙකි. නමුත් එයින් තවමත් සහනයක් ලැබුණේ කුරුණෑගල මාවතගම මුවන්කන්ද වත්තට පමණි. අනෙකුත් වතු සඳහා ලිපින ලබාදීම සඳහා මාස හයත් නවයත් අතර කාලයක් ලබා දී ඇත. ඒ පිළිබඳ බොහෝ බලාපොරොත්තු සහගතව සිටින ඔහු ඔවුන් මුහුණ දෙන අසීරුතා පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “අපිට ජීවත් වෙන්න ස්ථිර ගෙයක් නෑ. අපිටම කියලා වෙන් වුණ බිම් අඟලක්වත් නෑ. සරලවම කියනවා නම් අපි මැරුණාම අපේ අවසන් කටයුතු කරන්න කනත්තක්වත් නෑ. පවුල් තුන්සියයක් පමණ ජීවත් වන අපේ වත්තේ කිසිම කෙනෙකුට තැපැල් ලිපින ලබා දීලා නෑ. අපිට එන ලියුම් ඔක්කොම වත්තේ ඔෆිස් එකට තමයි දෙන්නෙ. අපේ වත්තේ ඉඳන් අරනායක ටවුන් එකට තියෙන්නේ කිලෝමීටර් දාහතයි. ඒත් ටවුන් එකෙන් දාන ලියුමක් අපේ අතට එන්නේ කිලෝමීටර් සීයකටත් වඩා ලොකු රවුමක් ගිහින්. අපිට ලියුමක් එවනවා නම් අරණායකින් එවන ලියුම මාවනැල්ල තැපැල් කන්තෝරුවට ගිහිල්ලා එහෙං නුවරට ගිහිල්ලා නුවරින් ගම්පොළට ඇවිල්ලා ගම්පොළින් දොළොස්බාගේට ඇවිල්ලා එහෙනුත් කිලෝමීටර් දාහතරක් දෝතල්ඔය වත්තට එන්න ඕන. අරණායකින් දාන ලියුම දිස්ත්‍රික්ක දෙකකට ගිහින් තමයි එන්නේ. ඒත් ඒ ලියුම් එන්නේ වත්තේ ඔෆිස් එකට.

ගොළු බෙලි ගමනෙන් එන ලිපි

අපිටම කියලා ලිපිනයක් නැති නිසා මට ගොඩාක් දේවල් නැති වෙලා තියෙනවා. ඒ වගේ සිදුවීමක් 2021 අවුරුද්දේ දී මට සිද්ධ වුණා. මට උසාවියකින් ලියුමක් එවලා තිබුණා. ඒ ලියුම එවලා තිබුණේ තුන්වෙනි මාසයේ. මම හොඳටම දන්නවා මට උසාවියෙන් ලියුමක් එන්න තියෙනවා කියලා. මං එක දවසක් උසාවියට ගිහිල්ලා ඇහුවා ඇයි මට තාම ලියුම ආවෙ නැත්තේ කියලා. ඒ වෙනකොටත් මාස තුනක් ගත වෙලා ඉවරයි. මාසෙ හරියටම කියනවා නම් හයවෙනි මාසේ. එතකොට මට උසාවියෙන් කිව්වා ඔයාගේ ලියුම තුන්වෙනි මාසෙම එවලා තියෙන්නේ කියලා. මම කිව්වා තාම මට ලියුම නම් හම්බ වුණේ නෑ කියලා. එතකොට ඒගොල්ලෝ ඒ යවපු දින වකවානු හොයලා බලලා ආපු නැති එකට අපට කරන්න දෙයක් නෑ කියලා කිව්වා. ඇත්තටම ඒ ලියුම රුපියල් 25000ක මුදල් චෙක් පතක්. ඒක මට තවමත් හම්බ වුණේ නෑ. ඊට පස්සේ මං සෑහෙන්න මහන්සි වෙලා පෙරකදෝරු මහත්තයෙක් හොයාගෙන ආයෙත් ලියුම් යොමු කරලයි ඒ ටික ආපහු ලබා ගත්තේ. මේක වුණේ අපිට හරියටම ලිපිනයක් නැති නිසා. ඒක විතරක් නෙමෙයි මට 2023 අවුරුද්දේ අප්‍රේල් මාසයේ මගේ මිත්‍රයෙක් ආරාධනා පත්‍රයක් එවලා තිබුණා. ඔහු එය තැපෑලෙන් එවලා තිබුණේ. ඒක මගේ අතට ලැබුණේ මාස හයකට පස්සේ. ඇත්තටම අපිට එවන ලියුම් එනවා. ඒ වුණාට අපේ අතට එන්නේ නැති ඒකයි ලොකුම ප්‍රශ්නේ. මොකද අපටම කියලා ලියුම් බෙදන්න කෙනෙක් නෑ. ගෙදරට ලිපිනයක් නෑ. එන ලියුම් ටික ඔක්කොම වත්තේ ඔෆිස් එකේ තියාගන්නවා. ඒගොල්ලෝ කාටවත් බෙදලා දෙන්නේ නෑ. කවුරුහරි ඔෆිස් එක අස් කරන කොට දැක්කොත් තමා එහෙමත් ලියුමක් අපේ අතට හම්බ වෙන්නේ.

මුවන් කන්ද වතු යායෙ ජේ. සුරේෂ් අයියා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට පසුගිය සතියේ ආරම්භයේදී ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිබඳ අපි ඔහුට ස්තූතිවන්ත වෙනවා. රජය එක පැත්තකින් ලැජ්ජා වෙන්නත් ඕන. කොයි රටකවත් මේ වගේ නඩු දාලා ලිපිනයක් ලබාගන්න වෙලා නැතුව ඇති. ඒත් ලංකාවේ නඩු දාලයි අපිට ඇඩ්‍රස් එකක් ගන්න වෙලා තියෙන්නේ. මේ රටට අව්වක් වැස්සක් බලන් නැතුව ලේ, දාඩිය හෙළලා දලු කඩලා විදේශ විනිමය හොයලා දෙන අපිට ඉන්න ගෙයක් දෙන්ඩ බැරි නම්, ස්ථිරව ජීවත් වෙන්න ඉඩමකුත් දෙන්න බැරි නම්, අපි මේ රටේ පුද්ගලයෝ කියලා කියන්න ලිපිනයකුත් දෙන්ඩ බැරිනම් මේ රට පාලනය කරන පාලකයන් අපිට දක්වන සැලකිල්ල ගැන හිතාගන්න පුළුවන්.

ලිපිනයට සින්න වුණ කන කර

එස්. සෙල්වරාණි ගම්පොළ පුස්සැල්ල ප්‍රදේශයේ වතු සමාගමකට අයත් ලයින් කාමරයක ජීවත් වන්නීය. මීට වසර කිහිපයකට ඉහත දී ඇගේ කන කර බඩු සියල්ල බැංකුවට සින්න වූයේ බැංකුවෙන් එවන ලද එකදු සිහිකැඳවීමක්වත් ඇයට නොලැබුණු නිසා ය. “අපේ වත්තේ මිනිස්සු ගොඩකගේ රත්තරන් බඩු වෙන්දේසියේ ගිහින් තියෙනවා. ඒකට හේතුව බේරගන්න බැරුව නෙමෙයි. බැංකුවෙන් එවන ලියුම් මිනිස්සුන්ට හම්බවෙන්නේ නැති එකයි. හදිසි මුදල් අවශ්‍යතා ඇති වෙලා පොඩි ගාණක් හොයාගන්න ඊට වඩා දහ පහළොස් ගුණයක් වටින බඩු බැංකුවේ තියන්නෙ ආපහු බේරගන්න හිතාගෙනනෙ. ලියුම් නොලැබෙන නිසා ගොඩාක් දුක් මහන්සියෙන් හම්බ කරපු දේවල් මෙහෙම නැති වෙලා යද්දි කොච්චර දුකක් දැනෙනව ද කියලා වචන වලින් කියාගන්න බෑ.”

ලිපි ලැබුණට ලිපින නෑ.

පසුගිය මාර්තු මාසයේ ජේ. සුරේෂ් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිබඳ බොහෝ දෙනා සාකච්ඡාවට බඳුන් කළ අතර පෙත්සම්කරු පවසන්නේ තවමත් එය විධිමත්ව සිදු නොවන බවකි. “ස්ථිර ලිපිනයක් කියන්නේ නිවසේ අංකය, මාවත ආදිය සඳහන් නීත්‍යනුකූල ක්‍රමවේදයක් අනුව සැකසෙන දෙයක්. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසුව නිවසට පැමිණ ලිපි ලබා දුන්නාට අපිට ලිපිනයක් නෑ. නමට පසුව මුවන්කන්ද, මාවත ගම කියලා තමයි අපේ ලිපි තවමත් ලැබෙන්නේ. මේ ප්‍රදේශයේ සේවය කරන පියුම් මහත්මයා දැඩි අපහසුතාවට පත් වෙනවා මේ නිසා. වතුකරයේ ලයින් කාමර වුණත් පිහිටලා තියෙන්නේ හරිම සංකීර්ණ ආකාරයට. මාවත් නම් කර නිවාසවලට අංකයක් ලබා දුන්නා නම් ලිපි බෙදා හැරීම පහසුවෙන් කරන්න පුළුවන්. 2006 වසරේ ඌව ශක්ති පදනමත්, 2013 දී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයත් මූලික වෙලා රජයේ නියමිත ක්‍රමවේදයට අනුව ලිපින ලබා දීම සිදු කළා. ඒ නිසා අපි දන්නවා ලිපිනයක් ලබා දීම එතරම් අපහසු කාරණාවක් නොවන බව. මෙතන තියෙන්නේ එය ඉටුකර දීමට උනන්දුවක් නැති කමයි. ලිපින ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කළත්, එය කියූ කාල සීමාව තුළ ඉටු වනවාද යන්න පිළිබඳ අපි දැඩි ලෙස සැලකිලිමත් වෙනවා. වසර ගණනාවක් තිස්සේ ස්වෙච්ඡා සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන බොහෝමයක් මේ ක්‍රියාවලිය සිදු කර ගැනීමට රජයට සහය දක්වන්න සූදානමින් ඉන්නවා. බොහෝ දෙනා රජයට මේ ඉල්ලීම මීට පෙර ඉදිරිපත් කළා. නමුත් ඒ පිළිබඳ එතරම් තැකීමක් කළේ නෑ.”

2013 වසරේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ලිපින අහිමි කම්කරුවන්ට ස්ථිර ලිපින ලබා දීම ආරම්භ කළේ බදුල්ල දිස්ත්‍රික්කයෙනි. ඌව ශක්ති පදනමෙන් 2006 දී ලිපින ලබා දීමෙන් ප්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව තුන්දහසකි. 2006 සිට මේ දක්වා වසර 17ක් ඉක්ම ගොස් ඇතත් ලංකාවේ වතුකරයට තවමත් ඇඩ්‍රස් නැත. ලිපිනයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලැබෙන තුරුම පාලකයන්ගේ ඇස නෑරුණු වතුකරයේ අනෙකුත් අවශ්‍යතා කෙසේ ඉටු වනවා ද යන්න ප්‍රශ්නාර්ථයකි.

සෝබා කෝලියවංශ

advertistmentadvertistment
advertistmentadvertistment