බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට නොතීසි

288

බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල් කේ. පී. සිරිබද්දන මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට අභියාචනාධිකරණය ඊයේ (07දා) නියෝග කළේය.

හික්කඩුව සීනිගම ශ්‍රී දෙවොල් දේවාලයේ භාරකාර ධුරයට සුදුස්සකු තෝරා පත්කර ගැනීම සඳහා පැවැති සම්මුඛ පරීක්‍ෂණය අභියෝගයට ලක් කරමින් නීතිඥ උදයංග මුණවීර මහතා විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සඳමාල් රාජපක්ෂ මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය කළේය. බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා හා නීතිපතිවරයා ඇතුළු හත් දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ එම පෙත්සම අභියාචනාධිකරණයේ විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් හමුවේදී කැඳවිණි. පසුගිය 17 සහ 18 යන දිනවල පැවැති පළමු සම්මුඛ පරීක්‍ෂණයේදී එයට ඉදිරිපත්වී දෙවන වටයට තේරී පත්වූ පස් දෙනාගේ හා සෙසු අයැඳුම්කරුවන්ට ලබාදුන් ලකුණු සටහන් ලේඛනද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් කරන්නැයි ද ඉල්ලා ගොනු කර තිබූ එම පෙත්සම ලබන 15 වැනිදා යළි කැඳවීමටද විනිසුරු මඬුල්ල නියෝග කළේය.

නීතිඥ සම්පත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතිඥ සඳමාල් රාජපක්ෂ මහතා පෙත්සම්කාර නීතිඥ උදයංග මුණවීර මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment