ඩිල්ශාන් මධුසංඛ දක්ෂ පන්දු යවන්නෙක්  – ශර්මාගෙන් සහතිකයක්

298

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ යනු දක්ෂ පන්දු යවන්නෙකු බව ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පෙරේදා (06 වෙනිදා) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තරගයේදී සුපිරි පිතිකරු විරාත් කෝලිගේ කඩුල්ලේ මැද ඉන්න සහ පිට ඉන්න උදුරා දමමින් කෝලිගේ ඉනිම ලකුණු 0කට සීමා කළ ඩිල්ශාන් තවත් කඩුලු දෙකක් ඇතුළුව ලකුණු 24කට ඉන්දීය කඩුලු 3ක් දවා ගත්තේය. කෝලි එසේ දැවී යනවිට අනෙක් අන්තයේ සිටි පිතිකරුවා වූයේද නායක ශර්මාය.

ඩිල්ශාන් මධුෂංක දැක්වූ එම දක්ෂතාවලින් පසුව ඔහු පිළිබඳව ඔබ සිතන්නේ කුමක්දැයි මාධ්‍ය විසින් නගන ලද පැනයකට පිළිතුරු දෙමින් ශර්මා ඒ බව සඳහන් කළේය.

“ඔහුව මං අද තමයි පළමු වතාවට දැක්කේ. ඔහුට හොඳ වේගයක් තිබෙනවා. දෝලනයක්ද තියෙනවා. ඔහු දක්ෂ පන්දු යවන්නෙක්.”

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල සඳහා ලකුණු 97ක සම්බන්ධතාවයක් පැවැත්වීම තරගය ඔවුන් දෙසට හැරීමට තීරණාත්මක සාධකය වූ බවත් නායක ශර්මා සඳහන් කළේය.

එමෙන්ම තමන් කවදාවත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙස සැහැල්ලුවෙන් නොබැලූ බවත් ඔවුන් ලෝකයේ ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් බවත් ඔහු පැවසීය.

කණ්ඩායමේ මැද පෙළට තව වමත් පිතිකරුවෙකුගේ අඩුවක් පවතින බවත් ඔහු එහිදී සඳහන් කළේය.

කුෂාන් සුබසිංහ ඩුබායි සිට
 

advertistmentadvertistment
advertistmentadvertistment