පල්ලෙකැලේ “කල්ල මරේ” කොළඹටත් එනවා මලේ

5030

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරැඹිණි. මෙවර තරගාවලියේ මෙරට පැවැති පළමු තරගය වූ ශ්‍රී ලංකා බංගලාදේශ තරගයෙන් ශ්‍රී ලංකාවට හිමි වූයේ පහසු ජයකි. ශ්‍රී ලංකාවේ දෙවැනි තරගය ලබන 05 වැනිදා පකිස්තානයේ ලාහෝර් හිදී ය. ඒ ඇෆ්ගනිස්තානය සමගය. ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය “බී” කාණ්ඩය යටතේ තරග වදී. බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව ලද එම ජය වැදගත්ය. තරගාවලියේ සුපිරි 4 වටයට සුදුසුකම් ලැබීමට එම ජය අනගි ඉනි මගකි. සුපිරි හතර වටයේ ගමන් මාවතේ භාගයකටත් වඩා දුර ශ්‍රී ලංකාව මේ ජයග්‍රහණයෙන් පසුව පැමිණ ඇත. එහෙත් බංග්ලාදේශයට එරෙහිව ලද එම “පහසු ජය” ඉතා වැදගත්ය. එම ජය ඉතා වැදගත් වන්නේ ප්‍රබලම පන්දු යවන්නෝ හතර දෙනෙක් සහ ප්‍රබල පිතිකරුවෙකුගේ අඩුව ඇතිව ලබාගත් ජයග්‍රහණයක් නිසාය. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක මට්ටමින්ද ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයකු වන වනිඳු හසරංග ආබාධ ලැයිස්තුවේ ඉහළින්ම සිටී. අනතුරුව දුෂ්මන්ත චමීර ය. ඔහු අපට සිටින දක්ෂතම වේග පන්දු යවන්නා ය. කොතරම් දක්ෂ වුවද ඔහු පසුපස හඹා එන මේ ආබාධ රැල්ල ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවකි. කුසල් ජනිත් පෙරේරා ඉතිරි තරගවලට එක්වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සහතික කරයි. වනිඳු සහ දුෂ්මන්තට පසුව ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු ද ආබාධ ලැයිස්තුවේ පසුවෙති. මේ ආකාරයට ආබාධ ගොන්නක් කරපින්නා ගෙන පල්ලෙකැලේට බට දසුන් ප්‍රමුඛ කණ්ඩායම බංග්ලාදේශය සාමාන්‍ය කණ්ඩායමක් බවට පත් කරමින් පහසු ජයක් වින්දේය. එසේම එම ජයග්‍රහණය ශ්‍රී ලංකාව එකදිගට එක් දින තරග 11 කදී ලද ජයග්‍රහණයක් විය. එම ජය සමග සිංහ දද ලෙළ දී නයි නැටුම් යට ගියේය. ඒ පරාජය බංග්ලාදේශය මීට වසර කීපයකට ඉහතදී ශ්‍රී ලංකාව හමුවේ තරග කළ විලාශය යළි සිහි ගැන්වීය.

එහෙත් ඊට පසුව ඔවුහු දක්ෂ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළහ. කොටින්ම තව මාසයකින් පමණ ඇරැඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් සොයා තරග කරද්දී බංගලි ක්‍රීඩකයෝ සෘජුවම ඊට සුදුස්සෝ වූහ. එවැනි කණ්ඩායමක් හොඳම ක්‍රීඩකයන් අතර හතර පස්දෙනෙක් නැතිව පහසුවෙන් පරාජය කිරීම සැලකිය යුතු දස්කමකි. විශේෂයෙන් ආබාධ නිසා පන්දු යැවීමේ බල ඇණිය විකල්ප මත තරග වැදී ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු 164 කට සීමා කිරීම වෙසෙසින්ම අගය කළ යුතු දස්කමකි. නුවර ඉපිද එහි හැදී වැඩුණු යොවුන් පන්දු යවන්නා වූ මතීෂ තම උපන් බිමේ දී බංගලියන් අඩපණ කිරීමේ කාර්යයේ පෙරමුණ ගත්තේය. ඔහුගේ පන්දු යැවීම තරගයේ වීරයා සම්මානය ඔහුට හිමි කර දුන්නා පමණක් නොව ලබන 05 වැනිදා සටනට එන ඇෆ්ගනිස්තානයට ද කළ අනතුරු ඇඟවීමක් වැනිය. එම තරගයෙන් ශ්‍රී ලංකාව සුපුරුදු රිද්මය සොයා ගත්තේ ය. එමතු ද නොවේ, ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිවාදී කණ්ඩායමක් වැඩිම වාර සංඛ්‍යාවක් දවාලූ ලෝක වාර්තාවට ද එදා හිමිකම් කීය.

එදිරිවාදී ගැටුම

මේ අතර තවත් සුවිශේෂී තරගයක් ඊයේ (02 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබිණි. ඒ ඉන්දියාව සහ පාකිස්තානය අතර ය. ඔවුහු ලෝක ක්‍රිකට් පිටියේ නම් දැරූ එදිරිවාදීහූ වෙති. එම දෙරටේ වැසියෝ අනෙක් අතට දැඩි ක්‍රිකට් ලෝලියෝ වෙති. එනිසා මේ ක්‍රිකට් ලෝලීත්වය සහ එදිරිවාදීකමට ඇත්තේ අසීමිත ඉල්ලුමකි. ඒ ඉල්ලුම මේ සෙනසුරාදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියා පකිස්තාන ක්‍රිකට් තරගයෙන් මොනවට කැපී පෙනුණි. වාර්තා වී තිබූ ආකාරයට ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් එම ක්‍රිකට් තරගය නැරඹීම සඳහා දස දහසක් ඉක්මවූ වැසියෝ මෙරටට පැමිණීමට සූදානම් වී සිටියහ. එසේම ඉදිරි තරග නැරඹීම සඳහා තවත් දහස් ගණනක් ඉන්දීය පකිස්තාන වැසියෝ මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසු වෙති.

හෝටල් පිරේ –
නිවාස හෝටල් වේ

එහෙත් මෙවර තරගාවලියේ සත්කාරකත්වය පකිස්තානයටය. එනිසා රූපවාහිනී විකාශන අයිතිය විකිණීමෙන් හෝ තරග ප්‍රවේශපත්‍ර විකිණීමෙන් ශ්‍රී ලංකාවට ආදායමක් හිමි නොවේ. එහෙත් ප්‍රේක්ෂකයෝ තරග නැරඹීමට ලබා ගන්නා ටිකට්වලට වියදම් කරන මුදලට අමතරව අනෙක් සෑම මුදලක්ම මේ රටට ය. ගුවන් ගමන් බදු සහ ගුවන්තොටුපළ බදු සිට තැඹිලි කරත්ත කරුවා දක්වා ඉන් රටට ආදායම් ඉපයේ. තරගාවලියේ තරග 13 න් 9 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වේ. ඊට අවසාන මහා තරගයද ඇතුළත්ය. අදාළ තරග 9 ම පැවැත්වෙන්නේ සංචාරක මර්මස්ථාන වන මහනුවර සහ කොළඹ ය. තරගාවලිය නැරඹීමට පැමිණෙන ඉන්දීය සහ පාකිස්තාන ප්‍රේක්ෂකයන් නවාතැන් ගන්නේ මේ හෝටල්වල ය. ඒ නිසා හෝටල් කර්මාන්තයට එමගින් අත්වන වාසිය සුළුපටු නොවේ. ඒ හා යැපෙන්නෝ ජාලයක් වෙති. ඉලක්කමෙන් දස දහස් ගණනකි. මේ ඔස්සේ රටට ලැබෙන්නේ ඩොලර්ය. අපට දැන් හිඟද ඩොලර්ය.

එහෙත් මේ විදේශීය සංචාරකයන්ට දේශීය සංචාරකයන්ද එක් වූ කල නුවර හෝටල්වල ඉඩකඩ මදිය. ඒ අනුව පල්ලෙකැලේ ක්‍රීඩාංගනය අවට නිවාසද සංචාරක අමාත්‍යාංශයේ අනුමැතිය මත හෝටල් බවට පත් වූයේය. එමගින් ගෙහිමියෝ අමතර ආදායමක් ඉපැයූහ. පල්ලෙකැලේ තරග නිසා ඒ සැමගේ “කල්ල මරේය”.

කුණ්ඩසාලේ විනෝද බද්ද

ඒ අතර ඊයේ තරගය පැවැත්වීමට නියමිතව තිබූ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට අයත් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවට හිමි වන විනෝද බද්ද අති මහත්ය. ජාත්‍යන්තර තරගයක ප්‍රවේශ පත්‍රයක වටිනාකමෙන් අදාළ බල ප්‍රදේශයයේ පරිපාලන ඒකකයට සියයට 20ක මුදලක් විනෝද බදු ලෙස හිමිවේ. එය ඕනෑම තරගයකට පොදුය. එහෙත් ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ ඊයේ තරගයේදී එම ප්‍රාදේශීය සභාවට ලැබෙන විනෝද බදු ආදායම වෙනත් තරගවලට වඩා ඩබල් ටි්‍රපල් වී නොව ඊටත් වඩා ගුණයකින් වැඩි වී ඇත. එහි නිල වාර්තා කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවට මෙතෙක් ලැබී නැත. එහෙත් එම තරගයේ එක් ටිකට් පතක් රුපියල් ලක්ෂයක මුදලක් දක්වා ඉහළ යද්දී ප්‍රාදේශීය සභාවට එක ටිකට් එකෙන් ලැබෙන බදු ආදායම රුපියල් 20000 කි. ඊට අමතරව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සුපරි කණ්ඩායම් හතර අතරේ තරග වටයේදී ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මහලයේ ප්‍රවේශ පත්‍රයක උපරිම මිල ඇමෙරිකානු ඩොලර් 400ක් පමණ වේ. එම මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් 128,800ක් වේ. ඊට අදාළ විනෝද බදු ආදායම කොළඹ නගර සභාවටය. එක ටිකට් එකකින් කොළඹ නගර සභාවට රුපියල් 25,000 ටත් වැඩිය. ඒ ලොකුම ටිකට් එක ය. මීට පෙර මෙවැනි බදු ආදායමක් එක ටිකට් එකකින් මේ රටට ලැබී නොමැත. එසේම පල්ලෙකැලේ ක්‍රීඩාංගණය මෙන්ම ප්‍රේමදාස ක්‍රීඩාංගණය ද අතුරු සිදුරු නැතිව පිරී යනු ඇත. පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාව 18000 ඉක්මවයි. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ එය ඊට වඩා දෙගුණයකට ආසන්නය. ඒ නිසා ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය අපට නැතත් රටට ලැබෙන ආදායම අතිමහත්ය.

මේ අතර ටිකට් පිළිබඳ තවත් කතා ඇත. එනම් ටිකට් මිල අඩු කරන ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව අඩුම ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 1,500 දක්වා පහළට ගෙන ඒමට හැකියාව ලැබුණි. ඒ දේශීය ප්‍රේක්ෂකයන් වෙනුවෙනි. කෙසේ වෙතත් ක්‍රිකට් සභාපතිවරයා අදාළ ඉල්ලීම පකිස්තාන ටිකට් සභාපතිගෙන් ඉල්ලා සිටීමෙන් පසුව ක්‍රීඩා ඇමැතිවරයාද එරට ක්‍රීඩා ඇමැතිගෙන් සහ ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණි. ඒ පිළිබඳව ලිපියද බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේදී මාධ්‍යවලට නිකුත් වී තිබුණි. එහෙත් වාර්තා වන ආකාරයට මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ අමාත්‍යාංශ අනුමැතිය ලැබී තිබුණේද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය පැවැති දිනයේදීය.

ටිකට් ගැන එසේ කතා කළ ද ලොකුම ටිකට් එක වන්නේ සුපිරි හතර වටයට යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නා “ටිකට්” එකය. ඒ සඳහා මුදල් නොව අවැසි වන්නේ දක්ෂතාවයි. දසුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේදී හැකියාව මොනවට පෙන්වා අදාළ “ටිකට්” එකෙන් අඩකටත් වඩා සම්පූර්ණ කළේය. ලබන අඟහරුවාදා ලාහෝර්හිදී ඉතිරි සුදුසුකම ද ඔවුන් සපුරනු ඇතැයි ක්‍රිකට් ලෝලීන්ගේ අපේක්ෂාව වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment