ගුවන්තොටට ආ වෑන් රියේ පුපුරන ද්‍රව්‍ය‍ කිලෝ 25 ක්

1354

රියැදුරු සහ වෑන් රථය අත්අඩංගුවට

රතිඤ්ඤා නිෂ්පාදනයට ගෙනා පුපුරන  ද්‍රව්‍ය යළි බා ගැනීමට අමතක වුණා

– රියැදුරුගෙන් පොලිසියට ප‍්‍රකාශ

පොටෑසියම් පර් ක්ලෝරයිඞ් නමැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 25 ක් රැුගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ඇතුළුවීමට තැත්කළ ගුවන් තොටුපළ කුලී රථ රියැදුරුවරයකු සහ එම වෑන් රථය ඉකුත් 03 දා සවස 6.00 ට පමණ කටුනායක ගුවන්තොටුපළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව, උතුරු කදිරාන, වෑබිම ප‍්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි ජෙරාඞ් ඇන්ටනි නමැති රියැදුරුවරයා, PB 1461 දරන වෑන් රථයෙන් ඉකුත් 03 දා සවස 06.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ඇතුළු වීම සඳහා, ගුවන් තොටුපළ කුළී රථ සඳහාම වෙන්වූ ජී. – 37 දරන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් පවත්වා ගෙන යනු ලබන පරීක්ෂණ මුරපොළ වෙත පැමිණ තිබේ.

එහිදී සිදු කළ පරීක්ෂා කිරීම්වලදී, මෙම වෑන් රථය තුළ තිබී මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබුණි.

පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම රියැදුරු සහ වෑන් රථයද, පුපුරන ද්‍රව්‍ය තොගය ද කටුනායක ගුවන් තොටුපළ පොලිසිය වෙත භාරදී තිබේ.

මෙම රියැදුරු පොලිසිය වෙත ප‍්‍රකාශ කර ඇත්තේ, ‘‘වෑන් රථයේ හිමිකරු කිඹුලාපිටිය ප‍්‍රදේශයේ රතිඤ්ඤා නිෂ්පාදන කටයුතුවල යෙදී සිටින ව්‍යාපාරිකයෙකු බවත්, එදින ඔහුට බලපත‍්‍ර මත රතිඤ්ඤා නිෂ්පාදනය සදහා යොදා ගන්නා පුපුරන ද්‍රව්‍ය වර්ග තුනක්, මෙම වෑන් රථය මගින් රතිඤ්ඤා නිෂ්පාදනාගාරය වෙත ගෙන ආ බවත්, ඒ අතර කටුනායක ගුවන් තොටුපළ කුලී රථයට හිමි ගමන් වාරය ආසන්න වීම නිසා තමන් කඩිනමින් මෙම වෑන් රථය, ගුවන් තොටුපළ වෙත රැුගෙන ඒමට කටයුතු කළ බවත් ප‍්‍රකාශ කර තිබේ.

එහිදී අතපසුවීමකින් මෙම පොටෑසියම් පර් ක්ලෝරයිඞ් තොගය මෙම වෑන් රථයෙන් බා ගැනීමට අමතක වී ඇති බව රියැදුරුවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.

මේ සිදුවීම පිළිබඳව මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා සහ කටුනායක ප‍්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත, කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ, එම පොලිසියේ තවත් නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

ගුවන්තොටුපොළ – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment