පුතාගේ වරද නිවැරැදි කරන්න අහිංසක කාන්තාවක් අමාරුවේ දාන්න පොලී මුදලාලි කෙනෙක් එස්.අයි. එක්ක ගහපු ගේම

855

ගම්පහ පාසලක මත්ද්‍රව්‍ය සිද්ධියේ ඇත්ත කතාව
කැන්ටිම කළ කාන්තාව නිර්දෝෂියි
මෙවැනි කතාවක් අධිකරණ ඉතිහාසයේ ඇහුවේ පළමු වතාවටයි – ගම්පහ මහෙස්ත්‍රාත්
දොස්තර කෙනෙක් මත් කරල් 6500 ක් සමග දැලේ

දිනය හරියටම ඉකුත් 05 වැනි සඳුදාය. ගම්පහ මල්වතුහිරිපිටියේ පිහිටි බුත්පිටිය පාසල සිය දෛනික අධ්‍යාපන කටයුතු ආරම්භ කර වැඩි වේලාවක් ගතවී තිබුණේ නැත.

නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් හිටිහැටියේම බුත්පිටිය මහා විද්‍යාලයට ඇතුළු විය. පොලිස් කණ්ඩායම දැකීමෙන් විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩලය පමණක් නොව පාසලේ දරු දැරියන්ද නොසන්සුන් වූහ.

පාසලට ඇතුළු වූ පොලිස් කණ්ඩායම කෙලින්ම යන්නේ පාසලේ ආපන ශාලාව වෙතය. යක්කල පෙලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු පොලිස් කණ්ඩායමක් ඊට එක්ව සිටි අතර මල්වතුහිරිපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එහි සිටියහ.

කලබලයට පත්ව සිටි විදුහල්පතිවරයා පොලිසිය පැමිණි කාරණාව විමසුවේය. මේ කැන්ටින් එකේ කුඩු විකුණනවා කියලා අපට ඉන්ෆොමේෂන් එකක් ලැබිලා තියනවා. ඒක පරීක්‍ෂා කරන්න ආවේ. යක්කල පොලිසියේ කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්‍ෂකවරයා විදුහල්පතිවරයා දැනුවත් කළේය. පොලිස් නිලධාරීන් පාසලේ ආපන ශාලාව පෙරළමින් කුඩු සොයන්නට වූහ. ඒ වන විට පාසල දෙබරයට ගල්ගැසුවාක් මෙන් විය. පාසල් කාර්ය මණ්ඩලය මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැඩි ලෙස කලබලයට පත්ව සිදුවන්නට යන්නේ කුමක් දැයි සිතමින් තුෂ්නිම්භූතව සිටියහ.

කැන්ටිම කරන නිලූකා නරක ගෑනු කෙනෙක් නෙවෙයි. එයා ගැන හොයලා බලලා තමයි අපි කැන්ටිම කරන්න දුන්නේ. විදුහල්පතිවරයා පොලිස් නිලධාරීන්ට කීවේය. එහෙත් ගත වුණේ සුළු මොහොතකි. ආපස ශාලාවේ අල්මාරියක් යට තිබූ අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් 7 ක් සහ මත් කරල් 38ක් සහිත කුඩා පොලිතින් බෑගයක් පොලිස් නිලධාරීන් සොයා ගත්හ. මෙන්න බඩු අහු වුණා. දැන් මොකද කියන්නේ. කටඋත්තර නැහැ නේද? යක්කල පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයා ජයග්‍රාහී ලීලාවෙන් කෑගසන්නට වූයේය. විදුහල්පතිවරයාගේ දෑස් උඩ ඉන්දවී තිබිණි. කාර්ය මණ්ඩලය මෙන්ම දරුවන්ද තුෂ්නිම්භූත වී සිටියහ.

අනේ බුදු සර් මම කුඩු විකුණන්නේ නැහැ මං අහිංසක ගෑනියක්. මං දන්නේ නැහැ ඔය පාර්සලය මේකට කොහෙන් ආවද කියලා. බුත්පිටිය මහාවිද්‍යාලයේ පුංචි ආපන ශාලාව පවත්වාගෙන යන නිලූකා නැමැති දෙදරු මව විලාප තබමින් කෑගසන්නට වූවාය. තමුන් දැන් බොරුවට කෑගහලා වැඩක් නැහැ. බඩු අහු වුණානෙ. කලබල කරන්නේ නැතිව පොලිසියට යන්න ලෑස්ති වෙනවා. වැටලීම හිතුවාටත් වඩා ඉහළින්ම සාර්ථක කරගත් යක්කල පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයා පොළොවේ අඩි හප්පමින් ගෝරානාඩු කරන්න වුණේය. නිලූකාගේ සැමියා බුත්පිටිය විදුහලේ කම්කරුවකු ලෙස සේවය කරමින් සිටියේය. ඇගේ වැඩිමහල් දියණියද මේ පාසලේම 7 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියාය. තම ආදරණීය මෑනියන් පොලිස් නිලධාරීන් විසින් කුදලාගෙන යෑමට සූදානම් වනු දුටු අහිංසක දියණිය විලාප තබමින් හඬා වැටෙන්නට වූවාය.

පුතාගේ වරද නිවැරැදි කරන්න අහිංසක කාන්තාවක් අමාරුවේ දාන්න පොලී මුදලාලි කෙනෙක් එස්.අයි. එක්ක ගහපු ගේම

එහෙත් කරන්න කිසිවක් ඉතිරිව නැත. නිලූකා මත්ද්‍රව්‍ය සමඟ කොටුවී හමාරය. නිලූකාගේ පැත්තේ සිටගන්නට කිසිවකුත් නැත. තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට කිසිදු සාක්‍ෂියක් ඇයට නැත. දෙවියන් යදිමින් විලාප තබා හඬා වැළපෙනවා හැරෙන්නට ඇයට කරන්නට කිසිවක් ඉතිරිව තිබුණේ නැත. අත්අඩංගුවට ගත් නිලූකා මල්වතුහිරිපිටිය පොලිසිය වෙත රැගෙන යෑමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ. බුත්පිටිය පාසල මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශයේ පිහිටි නිසා සැකකාරිය එම පොලිසිය වෙත භාරදුන් යක්කල පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු නිලධාරීන් සිය මෙහෙයුම නිමාකර පිටත්ව ගියහ.

ගම්පහ ඉස්කෝලෙක කැන්ටින් එකේ කුඩු තිබිලා අහුවෙලා. කැන්ටිම කරන අම්මන්ඩි ඉස්කෝලෙටම කුඩු විකුණලා. කාලෙක ඉඳලා මේ ගෑනි ජාවාරම කරගෙන ගිහින්. ඉස්කෝලෙ ළමයි භාගයක් කුඩු ගහනවා. මේ සිද්ධිය වැඩි වේලාවක් යන්නට මත්තෙන් ගම්පහ ප්‍රදේශයම ගිනි ගත්තේය. මෙවැනි ප්‍රචාරයන් ලැව්ගින්නක් මෙන් පැතිර යන්නට වුණේය.

ආපන ශාලාව කරගෙන ගිය නිලූකාගේ සැමියාට මෙන්ම අහිංසක දියණියට තවදුරටත් පාසලේ සිටිය නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබිණි. ඔවුන් දැඩි ලෙස අසරණ තත්ත්වයට පත් වූහ. අනේ බුදු සර් මං දරු දෙන්න ගැන දිව්රලා කියන්නම් මං කුඩු වික්කේ නැහැ. මේ පාර්සලය කෙහෙන් ආවද දන්නේ නැහැ….

තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට නිලූකා නොගත් උත්සාහයක් නැත. එහෙත් මල්වතුහිරිපිටිය පොලිසිය පමණක් නොව මුළු ලෝකයම සිටියේ ඇය මත්ද්‍රව්‍ය විකුණුවා කියන මතයේය. ඒ වනවිට මේ සිදුවීම පිළිබඳව ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා දැනුවත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණේය. කලක් මත්ද්‍රව්‍යනාශක අංශයේ මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කර හසල අත්දැකීමක් ඇති නිලධාරියකු වූ ජගත් රෝහණ මහතා මේ සිදුවීම පිළිබඳව සිය අවධානය යොමුකර තිබුණේය.

ඉස්කෝලෙක මේ වගේ දෙයක් වෙන එක බොහොම භයානකයි. ඒ ගැන අපි තදින් කටයුතු කරන්න ඕනෙ. ඒත් මට මේ කේස් එක ගැන පොඩි සැකයක් තියනවා. කෝකටත් ඔය නිලූකා කියන ගෑනු කෙනා ගැන හොඳට හොයලා බලන්න ඕනේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා සිය නිලධාරීන් දැනුවත් කළේ මේ සිදුවීම පිළිබඳව මතුවී තිබූ කිසියම් සැක සහිත කරුණු කාරණා නිසාය. ඉන් නොනැවතුනු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ගම්පහ කොට්ඨාස අපරාධ අංශයේ සහ බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායම් දෙකක් මේ පිළිබඳව සොයා බැලීමට යෙදෙව්වේය. නිලූකා මල්වතුහිරිපිටිය ප්‍රදේශයේම පදිංචි ආර්ථික අගහිඟකම් ගොන්නක් මැද්දේ ජීවිතය ගැටගසාගෙන ගිය දෙදරු මවකි. නිලූකාගේ සැමියා බුත්පිටිය මහා විද්‍යාලයේ සුළු සේවකයකු ලෙස රැකියාව කළේය. රැකියාවෙන් ඔහුට දෛනිකව ලැබුණේ රුපියල් 500 ක පමණ මුදලකි. දරු දෙදෙනකු සිටින පවුලක් නඩත්තුකරනවා තබා යන්තම් කෑමවේල් දෙකක් කන්නවත් ඒ මුදල ප්‍රමාණවත් නොවීය. බුත්පිටිය මහා විදයාලයේ පුංචි ආපන ශාලාව කාලයක් තිස්සේ කරගෙන ගියේ වෙනත් පාර්ශ්වයක් විසින්ය.

කොරෝනා වසංගතයට පාසල වසා දමා වසර දෙකකට පමණ පසු එය නැවත විවෘත කිරීමෙන් පසු ආපනශාලාව කරගෙන යන්නට කිසිවකුත් සිටියේ නැත.

මේ කැන්ටින් එක කරන්න හොඳ කෙනෙක් හොයලා දෙන්න. අපට මේක හැමදාම වහලා තියන්න බැහැ. විදුහල්පතිවරයා නිලූකාගේ සැමියාට කීවේය. තමන් උපයන සොච්චම් මුදල ප්‍රමාණවත් නැති නිසා පාසලේ ආපන ශාලාව කරගෙන යෑමට ඉදිරිපත් වුවොත් යම්කිසි ආදායමක් ලබා ගත හැකි බව නිලූකාගේ සැමියා සිතුවේය. ඔහු මේ ගැන සිය බිරිඳවූ නිලූකාට කීවේය.

අනේ අපි කොහොම හරි කැන්ටින් එක කරමු. මට උදේම නැගිටලා කෑම ජාති හදන්නන් පුළුවන්. මේකෙන් අපට අමතර ආදායමක් ලැබෙනවා නිලූකා සිය සැමියාට ඇවිටිලි කළාය.

සර් අපේ නෝනා කැමතියි කැන්ටිම කරන්න. අපි ඒ වැඩේ භාර ගන්නම්. නිලූකාගේ සැමියා විදුහල්පතිවරයාට කීවේය. කාලයක් තිස්සේ විදුහලේ සේවය කරන නිලූකාගේ සැමියා ගැන පැහැදී සිටි විදුහල්පතිවරයා ඊට කැමැත්ත පලකළේ ඔවුන් කෙරෙහි තිබූ විශ්වාසය නිසාය.

එතැන් සිට බුත්පිටිය මහා විද්‍යාලයේ ආපන ශාලාව කරගෙන ගියේ නිලූකා විසින්ය. හිමිදිරි පාන්දර අවදිවී විවිධ ආහාර වර්ග සකස්කරගෙන පාසලට රැගෙන එන නිලූකා ඒ සියල්ල අලෙවි කළේය.

නිලූකාගේ සැමියාට මෙන්ම අහිංසක දියණියට විදුහලේ දී නොයෙක් ගැරහුම් නින්දා අපහාසයන්ට ලක් වූහ. නිලූකාගේ අහිංසක දියණියට ඇතැම් දරුවන් අවමන් කළහ. කක්කුස්සි හෝදන එකාගේ කෙල්ල යනුවෙන් ඇතැම් දරුවන් ඇයට ආමන්ත්‍රණය කළේය. මේ සියලු නින්දා අපහාස විඳ දරාගෙන ඇය හොඳ අධ්‍යාපනයක් ලැබුවාය. එහෙත් කිසිවකුත් නොසිතූ අවස්ථාවක හෙණගෙඩියක් පාත් වුණේය. නිලූකා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇගේ දියණියට සහ සැමියාට පාසලේ සිටිනවා තබා ගමේ ජීවත් වීමටවත් නොහැකි තත්ත්වයක් උද්ගත විය.

පාසලේ මත්ද්‍රව්‍ය සොයා ගැනීම පිළිබඳව සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පත්කළ පොලිස් කණ්ඩායම් දෙක පැය කීපයක් ගත වන්නට පෙර ඉතාම වැදගත් තොරතුරු රැසක් සොයා ගත්හ.

සර්…. මේ ගෑනු කෙනාට පෙර වැරදි කිසි දෙයක් නැහැ. බොහොම අහිංසක කෙනෙක්. හැබැයි සර් විනී කියලා මනුස්සයෙක් එක්ක මේ අයට ප්‍රශ්නයක් තියනවා. 2019 අවුරුද්දේ විනීගේ පුතා නිලූකාගේ ගෙදරට පැනලා ඒ මනුස්සයට ලිංගික අතවරයක් කරන්න හදලා තියනවා. එතනදී නිලූකාගේ සැමියා ඒ කොල්ලට ගහලා පන්නලා.

මේ කේස් එකට ගම්පහ උසාවියේ නඩුවක් යනවා. ඒක විනීලගේ පැත්තට අවාසිවෙන විදිහට නඩුව යන්නේ. විනී හැම තැනම කියලා තියනවා මගේ කොල්ල හිරේ ගියොත් නිලූකාවත් හිරේ යවලා තමයි පස්ස බලන්නෙ කියලා. පොලිස් නිලධාරීන් සොයාගත් තොරතුරු ඉතාම සාවදානව අසා සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා කිසියම් නිගමනයකට ආවේය.

ඔය විනී කියන මිනිහා මේ කේස් එකට අනිවාර්යයෙන්ම සම්බන්ධයක් ඇති. මිනිහා ගැන හොඳට හොයන්න. ඒ වගේම යක්කල පොලිසියේ ටීම් එකක් මේ රේඩ් එකට ආවෙ ඇයි කියලත් බලන්න. මේ වැඩෙ පුළුවන් තරම් ඉක්මනට කරන්න ඕනේ. ජගත් රෝහණ මහතා සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ වන විට බුත්පිටිය මහා විද්‍යාලයේ ආපන ශාලාවේ අයිස් මත්ද්‍රව්‍ය හොයාගත් පුවත විiුත් මෙන්ම මුද්‍රිත මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබිණි.

පුතාගේ වරද නිවැරැදි කරන්න අහිංසක කාන්තාවක් අමාරුවේ දාන්න පොලී මුදලාලි කෙනෙක් එස්.අයි. එක්ක ගහපු ගේම

බුත්පිටිය මහා විද්‍යාලයට ඒ වන විට විශාල අපකීර්තියක් එල්ල වෙමින් තිබුණේය. ඇතැම් දෙමාපියන් තම දරුවන් පාසලෙන් ඉවත් කර ගන්නා තත්ත්වයක් උදා වෙමින් තිබිණි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාද මේ සිද්ධිය පිළිබඳව සිය දැඩි අවධානය යොමුකර තිබුණේය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා මේ සිද්ධිය පිළිබඳව දේශබන්දු තෙන්නකෝන් මහතා දැනුවත් කළේය.

සර්…..මේ කේස් එකේ පොඩි ඩවුට් එකක් තියනවා. මම වෙනම ටීම් දෙකක් දැම්මා හොයන්න. පැය කීපයක් යනකොට රිසාල්ට් එක එයි. ඒ වන විට නිලූකා මල්වතුහිරිපිටිය පොලිසියේ රඳවාගෙන විමර්ශන නිලධාරීන් ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටියහ. වැළහින්නක් මෙන් හඬාවැළපෙනවා හැරෙන්නට ඇයට කියන්නට කිසිවක් ඉතිරිව තිබුණේ නැත. මේ අතර විමර්ශන කණ්ඩායම්වල නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා හමුවට නැවත ආවේය. සර්….. මේ රේඩ් එකට ආව යක්කල පොලිසියේ එස්. අයි. විනීගෙ හොඳ යාළුවෙක්. දෙන්න එකට කනවා බොනවා ගමන් බිමන් යනවා. මෙතන ලොකු ප්‍රශ්නයක් තියනවා වගේ පේනවා. පොලිස් නිලධාරීන් තමන් සොයාගත් කරුණු කාරණා එකින් එක කියද්දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ මුවඟට සිහින් සිනහවක් නැඟුණේ නිරායාසයෙන්ය.

මේ සෙට් එකම මේ කේස් එක පිටිපස්සේ ඉන්නවා. යක්කල පොලිසියේ එස්. අයි.ව දැන්ම ගෙන්වන්න. මිනිහා අනිවාර්යයෙන්ම දන්නවා මෙතන මොකක්ද වුණේ කියලා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝග මත යක්කල පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයා ගම්පහ පොලිස් අධිකාරි කාර්යාලයට කැඳෙව්වේය. තමුන් ගැන අපි සේරම හොයාගෙන තියෙන්නේ. ඇත්ත කිව්වොත් ගැළවීමක් තියනවා. එහෙම නොවුනොත් රස්සාවත් නැති වෙන්න පුළුවන්. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා උප පොලිස් පරීක්‍ෂකවරයාගෙන් ප්‍රශ්න කළේය. මුලින් කිසිවක් හෙළි නොකළ ද අවසානයේ මේ සත්‍ය හෙළි කරන්නට උප පොලිස් පරීක්‍ෂකවරයා පටන් ගත්තේය. විනී යනු මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ චණ්ඩියකු ලෙස ජීවත්වන්නට උත්සහ කරන පුද්ගලයෙකි. හැට හැවිරිදි වියේ පසුවන මොහු කලක් දිවයිනේ ලියාපදිංචි අපරාධකාරයන්ගේ :ෂඍක්‍* ලැයිස්තුවේ සිටි අයෙකි.

මුදල් පොලියට දීම ඇතුළු විවිධ ව්‍යාපාරවලින් යහමින් මුදල් උපයන විනී ඇතැම් පොලිස් නිලධාරීන් ප්‍රභූ පුද්ගලයන් ඇතුළු සමාජයේ වැදගත් අය ඇසුරු කරමින් ගමේ ප්‍රබලයකු ලෙස ජීවත්වන්නට උත්සාහ කරන පුද්ගලයෙකි. තම පුත්‍රයා නිලූකාගේ නිවසට කඩාවැදී ඇයට අතවර කිරීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නඩුව කෙරෙහි විනී පසුවන්නේ දැඩි වෛරයකින්ය. නිලූකාට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට හිරිහැරයක් කිරීමට හෝ ඔවුන් අමාරුවේ දැමීමට විනී නිතර මාන බලමින් සිටියේ ඒ වෛරය නිසාමය. මත්ද්‍රව්‍ය වැටලීමට ගිය යක්කල පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයා විනීගේ සැලසුම පිළිබඳව පියවරෙන් පියවර හෙළිකරන්නට පටත් ගත්තේය.

සර් විනී මට කිව්වා බුත්පිටිය ඉස්කෝලෙ කැන්ටින් එක කරන නිලූකා කියන ගෑනු කෙනා එක්ක ලොකු ප්‍රශ්නයක් තියනවා කියලා. විනීගේ පුතාගේ ප්‍රශ්නෙ ගැනත් මට කියලා තිබුණේ. ඔය අතරේ තමයි ඉස්කෝලෙ කැන්ටින් එකේ අයිස් මත්ද්‍රව්‍ය තියනවා කියලා විනී මට ඔත්තුවක් දුන්නේ. මං ටීම් එකක් අරගෙන ගිහින් ඒ අයිස් ටික සොයා ගත්තා. උප පොලිස් පරීක්‍ෂකවරයා වැටලීම කළ ආකාරය ගැන පාපොච්චාරණය කළේය.

තමුන් දැන්ම ගන්නවා විනීට කෝල් එකක්. අරගෙන මේ සම්පූර්ණ විස්තරය මිනිහගෙන් අහගන්නවා. මෙයාගේ කෝල් එක රෙකෝඩ් කරන්න ලෑස්ති කරන්න ජගත් රෝහණ මහතා සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව උප පොලිස් පරීක්‍ෂකවරයා විනීට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය. බුත්පිටිය මහා විද්‍යාලයේ මත්ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධයෙන් සියලු තොරතුරු විනීගේ මුවින්ම පිට කර ගැනීමට උප පොලිස් පරීක්‍ෂකවරයා කටයුතු කළේය. මේ දුරකථන සංවාදය පටිගත කර ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කළහ.

අපි දැන්ම විනීව ඇරස්ට් කරන්න ඕනේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් විනී අත්අඩංගුවට ගත්හ.

සර් මම මේ කිසි දෙයක් දන්නේ නැහැ. ඔය ගෑනු කෙනා එක්ක ප්‍රශ්නයක් තියනවා තමයි. ඒත් මං ඔය කියන විදිහෙ අපරාධයක් කළේ නැහැ. විනී හතර අතේ දිව්රමින් නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට උත්සාහ ගත්තේය. මේ අතර උප පොලිස් පරීක්‍ෂකවරයා සමග දුරකථනයෙන් කතා කළ හඬපටයට විනීට ඇසීමට සැලැස්සූ පොලිස් නිලධාරීන් ඒ ගැන ඔහුගෙන් විමසුවේය. ඒ වන විට විනී කරමුලින්ම හසුවී සිටියේය. තමන් සිදු කළ මහා පාපකර්මය හෙළිකරනවා හැරෙන්නට ඔහුට වෙනත් විකල්පයක් තිබුණේ නැත. අනේ සර් මම ඇත්ත කියන්නම් ඔය ගෑනිත් එක්ක තිබුණු වෛරය නිසා තමයි මං මේ හැම දෙයක්ම කළේ.

විනී සියල්ල හෙළිකරන්නට පටන් ගත්තේය.

මගේ පුතාව අමාරුවේ දැම්මට මම ඔය ගෑනු කෙනා එක්ක ලොකු වෛරයකින් හිටියේ. පුතා හිරේ ගියොත් මං ඔය ගෑනිවත් හිරේ යවනවා කියලා හැම තැනම කිව්වා. නඩුව අපිට අවාසි තැනක තියෙන්නේ. ඒ නිසා තමයි මං ඔය ගෑනිව හිරේ අරින්න මේ වැඩේ කළේ.

මගෙන් පොලියට සල්ලි ගත්ත කොල්ලෙක් ඉන්නවා. මිනිහා රංග. එළවළු බිස්නස් කරන්නේ. එයාට මං කිව්වා මට කුඩු ටිකක් හොයලා දෙන්න කියලා. මම රුපියල් 15,000 ක් එයාට දුන්නා කුඩු ගන්න. රංගගේ යාළුවෙක් ඉන්නවා එරංග කියලා, මිනිහා වෑල්ඩින් වැඩ කරන්නේ. එයාට කියලා තමයි ඔය අයිස් පැකට් ටිකයි මත් කරල් ටිකයි ගෙන්න ගත්තේ.

අයිස් ටිකයි, මත් කරල් ටිකයි ඉස්කෝල කැන්ටින් එකට දාන්න තව කොල්ලෙක් ලෑස්ති කරගත්තා. ඔය ඉස්කෝලෙ මුරකාරයා ආබාධිත කෙනෙක්. අර කොල්ලා ඔය මුරකාරයා එක්ක හිතවත් වෙලා තියනවා.

පසුගිය 04 වැනිදා එදා ඉරිදා දවසක්. එදා රෑ තමයි ඔය අයිස් ටිකයි මත්පෙති ටිකයි ඉස්කෝලෙ කැන්ටින් එකේ අල්මාරියක් අස්සට දැම්මේ. ඊට පස්සේ මං යක්කල පොලිසියේ එස්. අයි. මහත්තයාට කෝල් කරලා කිව්වා බුත්පිටිය ඉස්කෝලෙ කැන්ටින් එකේ අයිස් තියනවා කියලා එස්. අයි. මහත්තයා මේ හැම දෙයක්ම දන්නවා. විනී තමන් සිදු කළ මහා අපරාධයේ සියලු තොරතුරු එකින් එක හෙළි කළේය. විනීගෙන් හෙළිවූ තොරතුරු මත රංග, එරංග සහ තවත් තරුණයකු පොලිසිය අත්අඩංගුවට ගත්තේය. අනේ සර් විනී අයියා කිව්ව නිසා තමයි මං මේ වැඩේ කළේ. අපිට ඔය ගෑනු කෙනා එක්ක ප්‍රශ්නයක් නැහැ විනී අයියගේ හිතවත්කමටයි අපි මේකට සම්බන්ධ වුණේ. සැකකාර තරුණයන් තමන් මේ අපරාධයට සම්බන්ධ වූ ආකාරය ගැන හෙළි කළේය. තමුසෙලාට කොහෙන්ද මේ අයිස් ටිකයි මත් කරල් ටිකයි හම්බවුණේ. පොලිස් නිලධාරීන් මත් කරල් සොයා ගත් ආකාරය පිළිබඳව ප්‍රශ්න කළේය. සර් තිහාරියේ ඩිස්පෙන්සරියක් කරන ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. එයා ළඟ ඕනෙ තරම් ඔය මත් කරල් තියනවා. අපි එයාගෙන් තමයි ඒවා ගත්තේ.

ලද තොරතුරු මත විමර්ශන පැවැත්වූ පොලිස් නිලධාරීන් තිහාරිය ප්‍රදේශයේ බෙහෙත් ශාලාවත් වැටලුවේය. බෙහෙත් ශාලාව පවත්වාගෙන ගිය වෛද්‍යවරයා සතුව තිබී මත් කරල් 6500 ක් සහ ඒවා අලෙවියෙන් උපයා ගත් රුපියල් ලක්‍ෂ 55 ක මුදලක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වූහ.

ඒ වන විට මේ නාටකයේ සියලු තොරතුරු පොලිසිය නිරාකරණය කරගෙන තිබුණේය. කතාවේ සත්‍ය අසත්‍යතාව සොයා ගන්නා තුරු නිලූකා රඳවා තබා ගැනීමේ නියෝග මත පොලිසියේ රඳවාගෙන සිටීමට කටයුතු කර තිබුණේය.

කෙසේ වෙතත් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ මැදිහත්වීම නිසා නිකරුණේ බන්ධනාගාරගත වීමට සිටි අහිංසක කාන්තාවකට නිදහස ලැබුණේය. මෙම විමර්ශනයට අදාළ කරුණු ගම්පහ මහෙස්ත්‍රාත් රාජපක්‍ෂ මහතා වෙත වාර්තා කිරීමට පොලිසිය කටයුතු කර තිබුණේය. එහිදී මහෙස්ත්‍රාත්වරයා පොලිසියේ මෙම විමර්ශනයට සිය විශේෂ ස්තුතියක්ද පිරිනැමීමට කටයුතු කර තිබුණේය. මහෙස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කර තිබුණේ මෙවැනි සිද්ධියක් පිළිබඳව තම අධිකරණ ඉතිහාසයේ අසන්නට ලැබුණු මුල්ම අවස්ථාව බවයි. පොලිසිය පසු විමර්ශනයක් සිදුකර නියම සත්‍යය හෙළිකරගෙන නියම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රශංසනීය බවද මහෙස්ත්‍රාත්වරයා කියා තිබුණේය.

කෙසේ වෙතත් නිලූකා නමැති ඒ අහිංසක කාන්තාවට අත්විඳින්නට සිදුවූ අමිහිරි අත්දැකීම, විඳින්නට සිදුවූ අපහාසය මුදලින් තක්සේරු කළ නොහැක. අහිංසක දරුවන් දෙදෙනාට සැමියාට පාරේ බැස යන්නට බැරි තත්ත්වයක් උදාකර දීමට විනී ඇතුළු ඒ පාපතරයන් කණ්ඩායම කටයුතු කර තිබුණේය.

පොලිසිය ඉතාම ප්‍රශංසනීය ආකාරයට මේ විමර්ශනය නොකරන්නට ඒ අහිසංක කාන්තාවට සිදුවන්නේ හෙට දිනයේ බන්ධනාගාරයේ බිත්ති හතරට කොටුවී සිටීමටය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment