මේ සොරකම් කළේ රටේම උරුමයයි

819

කොටවෙහෙර පන්සලේ සැඟව තිබූඅප නොදත් ලෝක උරුමය

මේ වෙනකොට සීඅයිඞී පරීක්‍ෂණ යන නිසා මම ඒ ගැන ප‍්‍රකාශ නිකුත් කරන්නේ නෑ…

පුරාවස්තු කොල්ලය ලෝකයේ ප‍්‍රධාන පෙළේ ජාවාරම්වලින් එකක්…

පුරාවස්තුවලට ලෝකයේ ඉල්ලූම වැඩි වෙනකොට අපේ පුරාවස්තු අතුරුදන්වීම වැඩි වෙනවා…

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළත් පුරාවස්තු ජාවාරමට සම්බන්ධ නිලධාරීන් ඉන්න පුළුවන්…

මේ රටේ බෞද්ධයන්ට ඓතිහාසික වශයෙන් දායාද කරන ලද බෞද්ධ උරුමයන් මේ වන විට ටිකෙන්, ටික අතුරුදන් වෙමින් පවතින බව පැහැදිලිව දක්නට තිබේ. එදා ඓතිහාසික මිහින්තලා කඳු මුදුනින් විසිරී, පැතිරී ගිය බෞද්ධ ශිෂ්ටාචාරයේ මතක සටහන් මෙන්ම, පසුව අපේ රජවරු නිර්මාණය කළා වූ වෙහෙර විහාර, දාගැබ් උතුර, නැගෙනහිර භූමියේදී කාලකණ්ණි අන්ත‍්‍රවාදීන් විසින් විනාශ කර භූමිය කොල්ලකන අතරේ දකුණේ බෞද්ධ නටබුන් පව්කාර පුරාවස්තු කොල්ලකරුවන් විසින් ප‍්‍රසිද්ධියේම විනාශ කරන තැනට පත් වී තිබේ.

එහෙත් මේ පුරාවස්තු කොල්ලය අද ඊයේ පටන් ගත්තක් නොවේ. වාර්තා වන ආකාරයට 1970 ගණන්වල සිට මෙරට ප‍්‍රසිද්ධ දේශපාලනඥයන් පවා පුරාවස්තු කොල්ලයට හවුල් බව සමාජයෙන් ඇසෙන කතාවකි. එදා සිට ක‍්‍රමයෙන් ව්‍යාප්ත වූ පුරාවස්තු කොල්ලය අදටත් ඇතැම් ප‍්‍රාදේශීය දේශපාලනඥයන් මෙන්ම පාර්ලිමේන්තු දේශපාලනඥයන් සහ ඔවුන්ගේ වන්දිබට්ටයන් හොර රහසේ කරන බව අප‍්‍රසිද්ධ කතාවක් නොවේ.

‘නිධානයකට තට්ටු කරගත්තොත් ජීවිතයම ගොඩ…’ බොහෝ ප‍්‍රදේශවල රස්තියාදු වන කොල්ලන් නිතර කියන කතාවකි. එමෙන්ම මෙරට බොහෝ ප‍්‍රදේශවලින් නිධන් කොල්ලයන් ගැන වාර්තා වේ. ඇතැම් කොල්ලයන් වාර්තා වන ඇසිල්ලට කරළියේ කතාබහට ලක්වීමට පෙර යට යන බව ද සැබෑය. කෑගල්ල, රඹුක්කන දැලිවල කොටවෙහෙර පුරාණ රාජමහා විහාරස්ථානයේ පුරාවස්තු කොල්ලයක් ගැන වාර්තා වන්නේ එවැනි පසුබිමකය. එය සුළු පටු පුරාවස්තු කොල්ලයක් නොවේ. ලෝක උරුමයක් වූ පෞරාණික දාගැබ් ආකෘතිය සේ සැලකෙන, මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් මත දේවානම්පියතිස්ස රජුගේ නිර්මාණ ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද අතිශය දුර්ලභ රන්මුවා කරඬුව ඇතුළුව දේවානම්පියතිස්ස රජුගේ වාස්තු ශිල්පීන් විසින් කළ පෞරාණික කරඬු අටකි. වාර්තා වන ආකාරයට ඒ මහා පුරාවස්තු කොල්ලය ගැන කතාව පෙළගැසෙන්නේ මෙසේය.

මේ සොරකම් කළේ රටේම උරුමයයි

මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත්, බුදු දහම ව්‍යාප්තියත් සමඟ මෙරට විවිධ ප‍්‍රදේශවල බෞද්ධ වෙහෙර විහාර ඉදිවෙන්නට පටන්ගත්හ. කෑගල්ල, රඹුක්කන දැලිවල කොටවෙහෙර පුරාණ රාජමහා විහාරය ද එම යුගයේ ඉදි වූ විහාරයක් බව මෙරට බෞද්ධ ඉතිහාසයේ සඳහන්ව ඇත. ඒ අනුව කොටවෙහෙර විහාරස්ථානය වසර දෙදහස් දෙසීයකට අධික ඉතිහාසයක් සහිත පින්බිමකි. මෙම පින්බිමට ‘කොටවෙහෙර’ යන නම පටබැඳී ඇත්තේ ද පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත උසින් අඩු දාගැබක් එහි පිහිටා ඇති නිසාය. එමෙන්ම 1957 වර්ෂයේදී කොටවෙහෙර පූජා භූමියේ සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී චෛත්‍යයේ සතර දිසාවේ ස්තූපයේ අනුරූ සහිත ශිලාමය කරඬු හතරක් සොයාගෙන තිබිණි. බටහිර දිග ශිලා මංජුසාව තුළ තිබී එම වර්ෂයේ පෙබරවාරි මස 04 වැනිදා දඹරන් කරඬුවක් සොයාගෙන තිබේ. එය තත්කාලීන දාගැබ් සම්ප‍්‍රදායේ පූර්ණ අනුරුවකි. එයින් ප‍්‍රකාශිත වූයේ සාංචි ස්තූපයේ හැඩය යි. එනම් මුල්ම දාගැබක ස්වරූපය සාංචියෙන් රූපණය වී ඇතැයි තහවුරු කරන සාධක හමුවන්නේ ලංකාවෙන් හමුවන කරඬු තුනකිනි. එක් කරඬුවක් රුවන්මැලි සෑයෙන් ද තවත් කරඬුවක් මිහින්තලේ මිහිඳු මහා සෑයෙන් ද හමු විය. මේ වාස්තු සම්ප‍්‍රදාය සාධනය කළ ඉපැරැණිම වූත්, ලෝකයේ පැවැති එකම ඉපැරැණි ඓතිහාසික දාගැබ් ආකෘතිය වූයේ 1957 වර්ෂයේදී දැලිවල කැණීමෙන් හමු වූ දඹරන් කරඬුවය.

එමෙන්ම එම පුරාවිද්‍යා කැණීමේදී අතිශය වැදගත් තොරතුරු සමුදායක් ද හෙළි වී තිබිණි. ඒ කොටවෙහෙර දාගැබ ඉදිකළ දේවානම්පියතිස්ස යුගයේ සිට වසර දෙදහස් දෙසීයක් පුරා එම දාගැබ කිසිම නවීකරණයක් සිදු කර නැති බවත්, අසූහාරදහසක් දාගැබ් පැවැති යැයි කියන රටේ පුරාවස්තු සංහාරකයන්ගෙන් හානියක් නොවූ එකම පුරාණ දාගැබ ලෙස කොටවෙහෙර විහාරස්ථානයේ දාගැබ ආරක්‍ෂා වී තිබුණු බවය. එම චෛත්‍යය මිහිඳු හිමියන්ගේ අනුශාසනා සහිතව දේවානම්පියතිස්ස රජුගේ බාල සොහොයුරෙකු වූ මේ ප‍්‍රදේශය පාලනය කළ තිස්සකීර්ති යුව රජු විසින් කරවන ලද්දක් බව ද ජනප‍්‍රවාදයේ කියැවේ.

2001 වර්ෂයේදී එම විහාර භූමියේ සිදු කරන ලද පුරාවිද්‍යා කැණීමකින් තවත් දඹරන් කරඬු හතක් සොයාගෙන තිබිණි. එම රන් කරඬු වීදුරු කරඬුවක බහා තවත් ලෝහමය කරඬුවක අසුරා පබළු මිශ‍්‍රිත සේද රෙදි කඩක දවටා මැටි වළඳක තැන්පත් කර තිබියදී හමු වූයේය. එම කැණීම් සිදු කර ඇත්තේ එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්‍ෂ ආචාර්ය ඩබ්ලිව්. විජේපාල මහතාය. එම රෙදිකඩ ලෝක බෞද්ධ ඉතිහාසයට අලූත් දැනුමක් එක් කළ බව සැබෑය. ධාතු කරඬුව විචිත‍්‍ර රෙදි කඩකින් වසා වඩම්මන පවතින සම්ප‍්‍රදාය මෙරට බුදු දහම ආරම්භක අවධියේ සිට පැවැති බව සනාථ කිරීමට එම රෙදිකඩ පැහැදිලි සාක්‍ෂියක් බවද සැබෑය. එමෙන්ම එම රෙදිකඩ පිළිබඳ ඔස්ටේ‍්‍රලියාවේදී සිදුකර ඇති කාබන් පරීක්‍ෂණයේදී එය වසර දෙදහස් දෙසීයක් පැරැණි බව තහවුරු වී ඇත.

ඒ අනුව අපට ශේෂ වී තිබුණේ මිහිඳු හිමියන් විසින් රැගෙන පැමිණි උත්තුංග වාස්තු සම්ප‍්‍රදායේ ස්වරූපය කියන වර්ෂ 2200 ක් පැරැණි මහා උරුමයකි. එහි ගර්භයේ තැන්පත් කළ කරඬු හෝ වාස්තු නිර්මිතයන් වර්ෂ 1957 දී කළ කැණීම් කෙරෙන තෙක් විතැන් වී තිබුණේ නැත. එමෙන්ම නවකම් නොකළ නිසා ඉතිහාසයේ වෙනත් කිසිම අවදියක මෙම ගර්භයේ කරඬු හෝ වෙනත් නිර්මාණ තැන්පත් වී නොතිබුණි. එහෙයින් මේ ගර්භයෙන් මතු වූ සෑම පුරාවස්තුවක්ම මිහිඳු හිමියන් ජීවමාන අවිධියේ දෙවනපෑතිස් රජුගේ නිර්මාණ ශිල්පීන් විසින් කර වූ නිර්මාණ බව අප තේරුම් ගත යුතුය. මේ පුරාණ කරඬු මෙරට බෞද්ධ ඉතිහාසයේ ආරම්භක අවධියේ පුරෝගාමීන්ගේ දෑතින් නිර්මාණය වූ ඒවා බවද අප තේරුම් ගත යුතුය. එමෙන්ම මේ අතිශය ගෞරවනීය පුරාවස්තු සමූහය තිබුණේ දැලිවල පුරාණ රජමහා විහාරස්ථානයේය. පසුගිය 11 වැනිදා රාත‍්‍රියේ පුරාවස්තු සංහාරකයන් විසින් කොල්ලකාගෙන ගොස් ඇත්තේ එම විහාරස්ථානයේ තැන්පත් කැර තිබූ පුරාවස්තුය. එහෙත් ඒ මහා පුරාවස්තු කොල්ලය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවකු මේ සටහන තබන මොහොත වන විටත් නීතියේ රැහැනට කොටු කරගෙන තිබුණේ නැත.

මේ සොරකම් කළේ රටේම උරුමයයි

කොළඹ ජාතික කෞතුකාගාරයේ තිබූ වසර තුන්සීයක් පැරැණි කඩු දෙක සොරාගෙන ගිය රටක, රඹුක්කන දැලිවල පුරාණ රජමහා විහාරයේ තිබූ පුරාවස්තු සොරාගෙන යෑම මහ කජ්ජක්දැයි යමෙකුට සිතේ. එමෙන්ම එම පුරාවස්තුවලට නිශ්චිත රැකවරණය නොතිබූ බව ද වාර්තා වේ. මේ පුරාවස්තු කෞතුකාගාරයක තැන්පත් කර අවශ්‍ය රැකවරණය ලබාදීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළ ද එය සාර්ථක වී නොමැති බවද වාර්තා වේ. පසුගිය 11 වැනිදා රාත‍්‍රියේ එම පුරාවස්තු සොරාගෙන ඇති ආකාරය ද සැකයට තුඩු දී ඇති බව වාර්තා වේ. ඒ මහා කොල්ලයට සම්බන්ධ කිසිවෙක් මේ සටහන තබන මොහොත වන විටත් නීතියේ රැහැනට කොටු නොවීම සම්බන්ධයෙන් ද රටේ බෞද්ධ ජනතාවට ඇත්තේ සැකයකි. එම සැකය දලූලා වැඩෙන්නේ ලෝක උරුමයක් වූ පෞරාණික කරඬු සොරකමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජනතාවගේ සහාය අපේක්‍ෂා කරන බව වාර්තා වීමත් සමඟය. එහෙයින් මේ මහා පුරාවස්තු කොල්ලය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු ගැන මෙන්ම ජාතික පුරාවස්තු සංහාරය සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ජාතික උරුමය, ප‍්‍රසංග කලා, ග‍්‍රාමීය කලා ශිල්ප ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විධුර වික‍්‍රමනායක මහතාව දුරකථනය ඔස්සේ අපි සම්බන්ධ කර ගත්තෙමු. අපේ පැනයට අමාත්‍යවරයාගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරකි.

‘‘මේ වෙනකොට ඒ ගැන පරීක්‍ෂණ කටයුතු කරගෙන යෑමට රහස් පොලිසියට භාර දීලා තියෙනවා. මේ කොල්ලය ගැන කොහොම හරි හොයන්නම ඕනෑ. ඒ නිසා දැනට මම ඒ ගැන ප‍්‍රකාශ නිකුත් කරන්නේ නෑ. ඒ වගේම පුරාවස්තු ජාවාරම ලෝකයේ ප‍්‍රධාන ජාවාරම් හතරෙන් එකක්. පුරාවස්තුවලට ලෝකයේ තියෙන ඉල්ලූම වැඩි වෙන කොට අපේ පුරාවස්තු අතුරුදන්වීම, කොල්ලකෑම වැඩි වෙනවා. අපේ රටේ නිලධාරීන්ගේ උදව් උපකාර නැතිව මේ ජාවාරම ජාත්‍යන්තර වශයෙන් සිදු කරගෙන යෑමටත් අපහසුයි. රට ඇතුළේ ප‍්‍රවාහනය කරනවා වගේ පිටරටවලට ප‍්‍රවාහනය කරන්න බෑ. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළත් මේ ජාවාරමට සම්බන්ධ නිලධාරීන් ඉන්න පුළුවන්. පුරාවස්තු ජාවාරම ව්‍යාපාරයක් කරගෙන සිටින නිලධාරීන් ඉන්න පුළුවන්. බොහෝ අය කතා කරන්නේ පුරාවිද්‍යා කොල්ලය සහ ඒවා විකුණලා සල්ලි කිරීම ගැන විතරයි. මේ ජාවාරම ඊට එහාට ගිය, විවිධ ස්වරූපයෙන් කෙරෙන ජාවාරමක්. ඒත් බහුතරයක් වූ නිලධාරීන් නීතිගරුකව, පුරාවස්තු ආරක්‍ෂා කිරීමට උපරිමයෙන් කැප වෙනවා. ඒ නිලධාරීන්වත් හවුල් කරගෙන මේ පුරාවස්තු ජාවාරම කොහොමහරි නතර කරනවා. ඒ කටයුත්ත කරන්න අකැමැති නිලධාරීයෙක් ඉන්නවා නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉවත් වෙලා යන්න කියලා මම කියනවා…’’

‘‘ඒ වගේම පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කරගෙන යෑමේදී බරපතළ ගැටලූ රාශියකට අපි මුහුණ දීලා තියෙනවා. ප‍්‍රධාන ගැටලූව මානව සම්පත නැතිකම. අපේ සේවකයන් දෙදහක් විතර හිටියා. ඔවුන්ට වැටුප් ගෙව්වේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන්. ඇතැම් දේශපාලනඥයන්ගේ මෝඩ ක‍්‍රියා නිසා මධ්‍යම සංස්කෘතික අරමුදල බංකොලොත් වුණා. අපේ සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරිව ගියා. ඒ නිසා අවිධිමත් ලෙස පත්වීම් ලබාදීලා තිබුණු අයව ඉවත් කරන්න වුණා. දෙවැනි කාරණය පසුගිය අවුරුද්දටත් වඩා මේ අවුරුද්දේ අපට අයවැයෙන් ලබාදෙන ප‍්‍රතිපාදන අඩු කරලා තියෙනවා. ඒ නිසා දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ නිසා අවම සම්පත් ප‍්‍රමාණයකින් තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩ කරගෙන යන්නේ…’’ විධුර වික‍්‍රමනායක ඇමැතිවරයා කෙළින් කතා කරන, රට, ජාතියට වැඩක් කිරීමට උත්සාහ කරන දේශපාලනඥයෙක් ලෙස සමාජයේ ප‍්‍රසිද්ධ බව සැබෑය. එහෙත් පුරාවස්තු ජාවාරමේ රස දන්න දේශපාලනඥයන් බහුතරයක් සිටින මෙරට පුරාවස්තු ජාවාරමට එරෙහිව නැඟී සිටීම ඔහුගේ ඇමැති ධුරයට ද බලපෑමක් වීමට ඉඩ ඇති බව සිහිපත් කර තැබිය යුතුය.

එමෙන්ම අප ජීවත් වනුයේ දස දහසක් දෙනා වැඳුම්, පිදුම් කරන පූජනීය වස්තුවකට හානි කිරීමෙන් අත්වන පාපකර්මයේ ආදීනවත් නොදන්නා මිනිසුන් ජීවත් වන සමාජයකය. ඒ අකුසල කර්මයේ ආදීනව දැන සිටින ගිහි, පැවිදි ඇතැම්හු එම පූජනීය වස්තු විකිණීමෙන් ලැබෙන මුදලට ඇති ගිජුකම නිසා අන්ධ භාවයට පත්ව සිටිති. ධර්මය ගිහියන්ට අවබෝධ කරදෙන භික්‍ෂුන්වහන්සේ ද පුරාවස්තු කොල්ලකෑමට සම්බන්ධ වන කරුමක්කාර සමාජයක පුරාවස්තු ආරක්‍ෂා කරගැනීම ලේසි පහසු කටයුත්තක් නොවන බවද අප තේරුම් ගත යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment