රටට ඩොලර් ගෙන ඒමට වෙර දරන දිරිය ගොවි මහතෙක්

119

නිට්ටඹුව මල්වත්ත පත්තලගෙදර ගුරු අභ්‍යාස විදුහල පාරේ ටික දුරක් යන විට දකුණට හැරී ගමන් කරන විටදී අක්කර 25කින් යුත් ගොවිපළට අප යන විටදී සරුසාර කුරුඳු වගාව හා ගම්මිරිස් වගාව දැඩි වෙහෙසක් දරා වගා කරන ව්‍යාපාරිකයකු දැකගත හැකි විය. ඔහු ගම්පහ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් අක්කර 25 කින් යුත් මෙම ගොවිපළ නව තාක්ෂණයට අනුව පවත්වාගෙන යන ඔස්මන් මැන්ඩෝසා ගුණසේකරයි. ඔහු මෙම ගොවිපළ පවත්වාගෙන යන ආකාරය පිළිබඳව විස්තර පැවසුවේ මෙලෙසින්ය.

“මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නව තාක්ෂණික උපදෙස් මත මෙම ගොවිපළ පවත්වාගෙන යනවා. ජර්සි, තොරටි වර්ගයට අයත් ගවයන් මෙම ගවපට්ටිය තුළ සිටිනවා. අපි කොම්පොස්ට් පොහොර තනා ගැනීමට මෙම ගවයන්ගේ ගොම භාවිතයට ගන්නවා. ඒ වගේම කිකිළියන් විශාල පිරිසක් (2000ක පමණ) සිටිනවා. මගේ අරමුණ තමා පාරිභෝගිකයන්ට ගම් බිත්තර සහන මිලකට ලබාදීම. ඒ වගේම මෙම ගොවිපළට අවශ්‍ය කොම්පොස්ට් පොහොර අපි විසින්ම සාදා ගන්නවා. විශාල වශයෙන් කුරුඳු වගාව, ගම්මිරිස් වගාව හා රඹුටන් වගාවට ප්‍රමුඛස්ථානය ලබාදෙනවා.”

“අපි මේ ගොවිපළ හරහා ලංකාවට අවශ්‍ය විදේශ විනිමය (ඩොලර්) ලබාගැනීමට මහන්සි ගන්නවා. අපි පසුගිය වසරේ ඩුබායි රටට රඹුටන් ආනයනය කළා. මැද පෙරදිග රටවල රඹුටන්වලට විශාල ඉල්ලුමක් තිබෙනවා. මෙම රඹුටන් ගස් වසර 10ක් පමණ පැරණි ගස්. ඒ වගේ රඹුටන් ගස් 95ක් පමණ තිබෙනවා.”

“තව දූරියන් ගස් වවලා තිබෙනවා. මේ දිනවල අධික රස්නය, පෑවිල්ල නිසා දූරියන් ගස්වලට ජලය දැමීම සිදුකරනවා. දැන් දූරියන් ගස්වල මල් හටගෙන තිබෙනවා. දූරියන් පිටරට යැවීමෙන් විශාල ආදායමක් උපයාගැනීමට පුළුවන්. අපිට මේ රත්තරන් පොළොවේ ඕනෑම වගාවක් කරන්න පුළුවන්. රජය විසින් ගොවියාට පහසුකම් ලබාදී කෘෂිකර්මාන්තය නගා සිටුවීමට කටයුතු කළ යුතුයි.”

ගම්මිරිස් වගාවෙන් අස්වැන්න නෙළන අයුරු.

“අපි රජයට ස්තුතිවන්ත වෙනවා කුරුඳු හා ගම්මිරිස් පිටරටින් ගෙන්වීම නතර කිරීම පිළිබඳ. ඒ වගේම පොල් වගාව මෙම ගොවිපළේ විශාල වශයෙන් වගාකර තිබෙනවා. මීට අමතරව පුවක් පැළ 500ක් පමණ හිටුවලා තිබෙනවා. අතුරු භෝගද මෙම ගොවිපළේ වගා කරලා තිබෙනවා. අප රටේ තරුණ තරුණියන්ට කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුවත් කරන්න ඕනෑ. රැකියා සොය සොයා යනවාට වඩා අක්කරයක් හෝ අක්කර භාගයක පාරිභෝගිකයන්ට එදිනෙදා අවශ්‍ය ආහාර වර්ග වගා කරනවා නම් විශාල ආදායමක් ලබාගැනීමට පුළුවන්.”

“කම්මැලි නොවී එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන්නේ නැතිව අපි අපිම භෝග වර්ග, පලාවර්ග වගා කරනවා නම් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට පුළුවන්. අද ගම්මිරිස්, කුරුඳු වැනි වගාවන් සාර්ථක ලෙස වගාකර පිටරට යවලා ඩොලර් ලබාගැනීමට හැකි පරිසරයක් උදාකර ගන්න ඕනෑ. පිටරටින් ගෙන්වනවාට වඩා අපේ රටේ වගාකර පිටරට යැවීමට අපිට පුළුවන්. කෘෂිකර්මාන්තයට මුල්තැන දෙමින් රජය මේ පිළිබඳව උනන්දුවිය යුතුයි. ගොවියාට සහනදායී ලෙස පොහොර හා අවශ්‍ය උපදෙස් ලබාදී කෘෂිකර්මාන්තය අපේ රටේ බබළවන්නට පුළුවන්. අද විශාල ඉඩම් තිබෙනවා රටේ අවශ්‍යතාවයට පමණක් නොවේ විදේශ රටවලට යැවීමට අවශ්‍ය ධාන්‍ය වර්ග වගා කිරීම හැකි. වස විෂ නැති ආහාර වර්ග නිෂ්පාදනය කිරීමට ජනතාව විශාල වශයෙන් දැනුවත් කිරීම සිදුකළ යුතුයි. මගේ ගොවිපළ සාර්ථක ලෙස පවත්වාගෙන යෑමට නිතරම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගන්නවා.”

“අපි සියලුදෙනාම ඒකරාශිවී අපේ රටේ තිබෙන රත්තරන් පොළොවෙන් වැඩ අරගන්න කටයුතු කරන්නේ නම් අපට කිසිමදාක ආහාර හිඟයක් ඇතිවෙන්නේ නැහැ. මෙම ගොවිපළ රටටම ආදර්ශයක්. එම නිසා මෙවැනි ගොවි මහත්වරුන් තව තවත් බිහිවේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

ගම්පහ අධිකරණ වින්සන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment