පාස්කු කොමිසමේ නිර්දේශ වළ දමන්නේ කවුද…? කාදිනල්තුමා අසයි…

255

මියගිය අයගේ පවුල්වල පිරිස් සමග කාදිනල්තුමා කතාබහකට එක්වූ අවස්ථාව

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසමේ නිර්දේශ මේ දක්වා නිසි ලෙස කි‍්‍රයාත්මක නොවන තත්ත්වයක් පැවතීම විශාල ප‍්‍රශ්නයක් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ප‍්‍රකාශ කළේය.

පාස්කු ප‍්‍රහාරයට වසර 2 1/2 ක් පිරීම නිමිත්තෙන් ඊයේ (21 දා) කොළඹ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ යැදුම් මෙහෙයට එක්වෙමින් අගරදගුරුතුමෝ මේ බව සඳහන් කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැල්කම් රංජිත් කාදිනල්තුමා මෙසේ ද කියා සිටියේය.

පාස්කු කොමිසමේ  නිර්දේශ වළ දමන්නේ කවුද...? කාදිනල්තුමා අසයි...

මේ ප‍්‍රහාරය පිටුපස සිටින පිරිස හෙළි කර ගැනීමට තවමත් නොහැකි වීම ප‍්‍රශ්නයක්. මේ වසරේ මාර්තු 08 වැනිදා මා හමුවීමට පැමිණි එදා සිටි නීතිපතිතුමා මට පැවසුවේ මේ සිදුවීම සෑහෙන දුරකට සංවිධානාත්මකව කරනු ලැබු සිදුවීමක් බවයි.

පාස්කු ප‍්‍රහාරය ත‍්‍රස්තවාදීන් හත් අට දෙනකු කළ දෙයක් බව කියන්න බැරි බවත් එතුමා මට සඳහන් කළා.

ඒ නිසා තමන්ට ලැබුණු ජනාධිපති කොමිෂන් සභා වාර්තා සහ ඒ සියලූ පිටපත් හොඳින් කියවා බලා කටයුතු කරන්න අදහස් කරන බවත් එතුමන් ප‍්‍රකාශ කළා.

දැන් පාස්කු කොමිෂන් සභා වාර්තාව නීතිපතිතුමාට භාරදී මාස 09 ක් ගත වෙලා තියනවා. තවමත් ඒ වාර්තාවෙන් ජන සමාජයට මුදා හැරලා තියෙන්නේ එක වෙළුමක් පමණයි. එහි ඉතිරි වෙළුම් 21 අපි ඉල්ලා සිටියත් එය ලබාදෙන්නට කටයුතු කරලත් නෑ. ඒ පිළිබඳව පිළිතුරක් හෝ ලබාදී නැහැ.

හෙළිදරව් කරන ලද වෙළුමෙන් නිර්දේශ කි‍්‍රයාත්මක වී ඇත්තේ ස්වල්පයයි. එය කරන්නෙත් ඕනෑවට එපාවට රජයේ නිලධාරීන්, ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් මේ විමර්ශන යට ගහන්නට ඉතා විශාල උත්සාහයක යෙදෙන බව අපට දැන ගන්නට තිබෙනවා. මේ තත්ත්තවය තුළ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව කොමිෂන් සභාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කර ගන්නට අපට මේ පරිපාලන ව්‍යුහය තුළින් ඉඩකඩ ලැබෙන්නේ නැති බව පැහැදිලි වී තිබෙනවා.

මේ ප‍්‍රහාරය පිළිබඳව හොයනවා කියා කියූ විමර්ශන කෝ. ඒවා සිදු කරන්නට බැරි ඇයි. වරදක් කරපු කෙනා බලන්නේ අනිත් අයට වරද පටවා තමන් සැඟවී යන්න. නමුත් අහිංසක මිනිසුන්ගේ ලේ හෙළුෑ අයට කිසිදාක සැනසීමේ ඉන්න ලැබෙන්නේ නැහැ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment