චීන නළඟන සිඟිති දියණිය සේවිකාවට භාර දී රට පනින්න හදලා

221

ගුවන් යානය පෙනි පෙනී මාංචු

කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී චීන ජාතික කාන්තාවක් ඇයගේ කුඩා දියණිය, මෙතෙක් කලක් බලාගත් ශ්‍රී ලාංකික සේවිකාවට භාරදී, ආපසු පලායමින් සිටියදී කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් ඇය ගුවන් යානය වෙත පිවිසීමට සූදානම් වෙමින් සිටියදී රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය 35 හැවිරිදි චීන ජාතික කාන්තාවකි. ඇය 58 හැවිරිදි සිය මව සමග ඩුබායි හි කුලී පදනමට ලබාගත් නිවසක වාසය කර තිබේ. මෙම චීන තරුණ කාන්තාව ප්‍රසිද්ධ සමාජශාලාවල නර්තනයේ යෙදෙන නළඟනකි.

ඇයට දියණියන් දෙදෙනකු සිටින අතර එයින් වයස අවුරුදු 03 යි මාස 06 ක් වන බාලදියණිය, ඇය බලාගැනීමට සිටින ශ්‍රී ලාංකික සේවිකාවට දැඩි ලෙන්ගතුකමක් දැක්වූයේ, චීන ජාතික මවට වඩා ඇය තමන්ට සෙනෙහස දැක්වීම නිසාය.

මෙම ශ්‍රී ලාංකික සේවිකාව කුරුණෑගල, පොල්ගහවෙල, පොතුහැර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවකි.

ඇය පසුගියදා තම සේවා කාලය අවසන්ව යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම වෙන්වීමෙන් චීන ජාතික කුඩා දැරිය මහත් අපහසුතාවයට පත්වී සිටි අතර, ඇය අස්වසාලන්නට නොහැකි තත්ත්වයකට මෙම චීන ජාතික මව පත්වී සිටියාය.

මේ කිසිවක් සඳහන් නොකළ මෙම චීන කාන්තාව, ශ්‍රී ලාංකික සේවිකාව අමතා තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන බවත්, ඔවුන් රැගෙන යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ලෙසත් දන්වා තිබේ. ඒ අනුව ඇය පිළිගැනීම සඳහා මෙම සේවිකාව කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, මෙම චීන කාන්තාව, ඇයගේ මව සහ බාල දියණිය රැගෙන ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

කටුනායක ගුවන්තොටුපොළේ දී මොවුන් මුණගැසී ඇති අතර, මද වේලාවක් කතා කරමින් සිට ඇයගේ බාල දියණිය ශ්‍රී ලාංකික සේවිකාව අතට දී එකවරම ගුවන් තොටුපොළෙන් අතුරුදහන් වී තිබුණි.

මෙම සිදුවීම පිළිබඳ වහාම කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය දැනුවත් කිරීමට ශ්‍රී ලාංකික සේවිකාව පියවර ගෙන තිබුණි.

ඒ අනුව මෙම කාන්තාව සහ කුඩා දැරිය මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගත් කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය රාත්‍රී කාලයේ යළිත් ඩුබායි බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි මෙම චීන ජාතික කාන්තාව සහ ඇයගේ මව අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ වන විට මෙම චීන ජාතික කාන්තාවන් දෙදෙනා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් තිබේ.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment