මෙරට ගොවීන්ට පළමුවරට අබ ප්‍රභේදයක්

61

මෙරට වගාබිම් සඳහා යෝග්‍ය අබ ප්‍රභේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පළමුවරට නිර්දේශ කර තිබේ.

පසුගිය 23 වෙනිදා ගන්නොරුවේදී පැවති ප්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීමේදී මේ සඳහා අනුමැතිය හිමිවූ අතර, එය කමිටුව වෙත ඉදිරිපත් කරනු ලැබුවේ අඟුණකොළපැලැස්ස මාශ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය ඉෂාරා පෙරේරා විසිනි. දැනට ප්‍රධාන වශයෙන් මහනුවර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි ගෙවතු සහ ආන්තික ඉඩම්වල දළ වශයෙන් හෙක්ටයාර් 100-200 අතර වපසරියක අබ වගා කෙරේ. ඒ සඳහා යොදාගනු ලබන්නේ ගොවීන් අතර සාම්ප්‍රදායිකව ගැවසෙන අබ ප්‍රභේදයි. ඉතිරි දේශීය අවශ්‍යතාව සපයනු ලබන්නේ ආනයනයෙනි.

ඒ.එන්.කේ. එම්.-01 වශයෙන් නම් කළ මෙම දේශීය ප්‍රභේදය තෝරාගෙන ඇත්තේ පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය තුළ එක්රැස්කර ඇති අබ ප්‍රභේද එකතුව විශ්ලේෂණය කිරීමෙන්ය. වගා විභවයක් සහිත දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි වසර 12 ක පමණ කාලයක් තිස්සේ සිදුකර ඇති ක්ෂේත්‍ර අධ්‍යයනයන් හරහා මෙය තෝරාගෙන ඇති අතර ගොවි ක්ෂේත්‍රයන්හි ලැබුණු සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 800 ක් වශයෙන් වාර්තාවී තිබේ. ගොවීන් අතර තිබෙන අබ ප්‍රභේදයන් හා සැසඳීමේදී මෙය ඉහළ අගයකි. ලොකු ඇට සහිතවීම සහ වැඩි සැර බවද නව ප්‍රභේදය සතු විශේෂ ලක්ෂණ බව ආචාර්ය ඉෂාරා පවසයි. සාමාන්‍ය ක්‍රමවේදයට අනුව බීජ නිෂ්පාදනය ඇරඹෙන්නේ නව ප්‍රභේදයක් නිල වශයෙන් නිර්දේශ කිරීමෙන් පසුව බැවින් මෙම ප්‍රභේදයේ බීජ ගොවීන් වෙත ලබාදීමට තවත් වගා කන්නයක් පසුවිය යුතු බවද, ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment