වැග්නර් ප්‍රධානියා මියගිය බව තහවුරු කරයි

300

පසුගිය බදාදා (23) රුසියාවේ සිදු වූ පුද්ගලික ජෙට් යානා අනතුරෙන් මියගිය මගීන් 10 දෙනා අතර වැග්නර් කුලී හමුදාවේ නායක යෙව්ජෙනි ප්‍රිගෝසින් ද සිටින බව අදාළ අනතුරෙන් මියගිය අයගේ මළ සිරුරු සම්බන්ධයෙන් ජාන තාක්ෂණය යොදාගෙන සිදු කළ පරීක්ෂණයකින් පසු රුසියානු බලධාරීන් විසින් තහවුරු කර තිබේ. ප්‍රිගොසින් හා වැග්නර් හමුදාවේ ලුතිනන්වරුන් හත්දෙනකු ද ජෙට් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනකු රැගත් එම්බ්‍රයර් වර්ගයේ ව්‍යාපාරික ජෙට් යානය රුසියාවේ මොස්කව් නගරයේ සිට ශාන්ත පිටර්ස්බර්ග් නගරය දක්වා පියාසර කරමින් තිබියදී ‘කුසෙන්කිනෝ’ නමැති රුසියානු ගම්මානය ආසන්නයේදී කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබිණි.

2014 වසරේදී වැග්නර් කුලී හමුදාව පිහිටුවාගනිමින් රුසියානු හමුදාවන්ට සහය වීම සඳහා යුක්‍රේනයේ සටන් බිමට සිය හමුදා සාමාජිකයන් යැවූ 62 හැවිරිදි ප්‍රිගොසින් හා ඔහුගේ හමුදාවේ ඉහළම ලුතිනන්වරුන් හත් දෙනකු රැගත් පුද්ගලික ජෙට් යානය අනතුරට පත්ව ඇති වේලාව අනුව එය රුසියානු ජනාධිපති මන්දිරය වන ක්‍රෙම්ලිනය විසින් සංවිධානය කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් සිදුව ඇති බවට සැක පහළ වී ඇතත් ක්‍රෙම්ලිනය කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට නැඟෙන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වුවද ඇමෙරිකානු ජාතික ආරක්ෂක සරසවියේ සහකාර මහාචාර්ය පීටර් එල්ට්සොව් පවසා ඇත්තේ ඉකුත් ජුනි මාසයේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව කැරැල්ලක් මෙහෙයවූ ප්‍රිගොසින් රුසියාව තුළ ගමන් කරමින් සිටියදී සිදුව ඇති ජෙට් යානා අනතුර කුමන්ත්‍රණයකින් සිදු වූවක්ය යන මතය තවමත් බැහැර කළ නොහැක්කක් බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment