උතුරේ ව්‍යාපාරිකයන්ගේ ගැටලුවලට මාස දෙකෙන් විසඳුම් දෙනවා

62

ජනපති යාපනයේදී පොරෙන්දු වෙයි

උතුරු පළාතේ ව්‍යාපාරිකයන් මුහුණ දී සිටින ගැටලුවලට ඉදිරි මාස දෙක තුළ විසඳුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් ඉදිරි සති 02 තුළ උතුරට පැමිණ ඒ පිළිබඳ සොයා බලනු ඇති බවත්, උතුරු පළාතේ ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටලු විසඳීම සඳහා ක්‍රියාකාරී ආයතනයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවසුවේ යාපනය දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්, ධීවර සහ ගොවි ප්‍රජාව සමඟ පෙරේදා (06දා) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

උතුරු පළාතේ කර්මාන්තකරුවන්, ධීවර ප්‍රජාව සහ ගොවි ජනතාව 300ක පමණ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර තම කර්මාන්ත ආශ්‍රිතව මතුව ඇති ගැටලු හා නව යෝජනා ඔවුහු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.

එම සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට පියවර ගත්තේය. උතුරු පළාතට කර්මාන්ත කලාපයක් ලබා දෙන ලෙස මෙහිදී කර්මාන්තකරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඊට අවශ්‍ය භූමි ප්‍රදේශයක් සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. එසේම පළාත් ව්‍යාපාර ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් උතුරට කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

උතුරු පළාත ජාතික ආර්ථිකයට සක්‍රීයව දායක කරගැනීම සඳහා ව්‍යාපාර සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අදාළව මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කරන ලෙස නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
මුලතිව් -ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment