පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියේ සාමාන්‍ය පටිපාටිය වී තිබුණේ නෑ

62

ගෝඨාභය පොතෙන් කියයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය විය යුතුව තිබුණේ ප්‍රහාරය සිදුව පැය 24ක් ඇතුළත මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ බී වාර්තාවක් ගොනු කිරීම වුවද එම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ සතියකට පමණ පසුව බවත් ඒ සඳහා ලිපියක් ද ලිවීමට සිදු වූ බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට පොලිස්පතිවරයාට, නීතිපතිවරයාට සහ පොලිස් මූලස්ථානයේ පොලිස් පරීක්ෂකවරුන් පස්දෙනකුට ද ලිපියක් ලීවිමට සිදු වූ බවත්, බෝම්බ ප්‍රහාරය පිළිබඳව විජයදාස රාජපක්ෂ මහතා පැමිණිල්ලක් කළ බවට බී වාර්තාවක් මගින් මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කර තිබුණේ ප්‍රහාරයෙන් සතියකට පමණ පසුව බවත්, හිටපු ජනාධිපතිවරයා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඔහු විසින් රචනා කරන ලද ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ නමැති කෘතියේය. එම කෘතියේ මෙසේ ද සඳහන් වේ.

“2023 සැප්තැම්බර් 22 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා 2016 දී ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය අන්තවාදයේ තර්ජනය ගැන මුල්වරට කථා කළ අවස්ථාවේ දී තමාගේ ම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් තමාව විවේචනය කළ ආකාරය සිහිපත් කර තිබුණි. ඔහු එම ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයාව සිටිය ද 2016 නොවැම්බර් 18 වැනි දින ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් එම අදහස් පළ කළ දිනට පසු දින තවත් කැබ්නට් අමාත්‍යවරුන් අටදෙනකු සමග මාධ්‍ය හමුවක් පවත්වා කැබ්නට් ප්‍රකාශකවරයා ඔහුගේ ප්‍රකාශය බොරුවක් බව හෙළා දැක තිබේ.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පොලිසියේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය විය යුතුව තිබුණේ පැය 24ක් ඇතුළත මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ බී වාර්තාවක් ගොනු කිරීම ය. නමුත් එවැනි පියවරක් ඔවුන් ගෙන නැත. අවසානයේ විජයදාස රාජපක්ෂ මහතා මේ ගැන ඔවුන්ගේ අවධානය යොමු කරමින් පොලිස්පතිවරයාට, නීතිපතිවරයාට, සහ පොලිස් පරීක්ෂකවරුන් පස්දෙනෙකුට ලිපියක් ලිවීමෙන් පසු පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පැමිණිල්ලක් කළ බවට බී වාර්තාවක් මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ ගොනු කර තිබුණේ ප්‍රහාරයෙන් සතියකට පමණ පසුවය” යනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment