චෞර වළල්ලෙන් රට ගලවන මාලිමාවේ අරගලය වේගයෙන් ඉදිරියට – අනුර කුමාර කියයි

120

ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමේ අරගලයත්, ඒවා විනාශයට පත් කිරීම සඳහා කැසකවන දේශපාලනඥයන් පරාජය කර මාලිමාවේ ආණ්ඩුවක් බිහිකර ගැනීමේ අරගලයත් වැඩි වේගයකින් ඉදිරියට ගෙන යන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට විනාශ කර සිය මඩිය තර කරගත් ආණ්ඩු විසින් සිදු කරන ජාතික සම්පත් විකිණීම පිටුපස ඇත්තේ ලාභ අලාභ පිළිබඳ ගැටලුවක් නොව සිය මඩිය තවදුරටත් තර කර ගැනීමේ කටයුත්තක් බවත් හෙතෙම කීවේය.

ජාතික ජන බලවේගය මෙම විනාශකාරී ආර්ථික ගමන පරාජයට පත් කිරීම සඳහා ගත හැකි සහ කළ හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ සඳහා නව පන්නයේ ජාතික පිබිදීමක් රටට අවශ්‍ය බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කීවේය.

එසේ නොමැතිව රට පාලනය කරන චෞර වළල්ලෙන් රට ගලවා ගැනීමට නොහැකි යැයි ද කී හෙතෙම රට ගොඩ ගැනීමට නම් ජාති කුල ආගම් පක්ෂ භේද පසෙක තබා ජාතික ජන බලවේගය නමැති මහා ජාතික බලවේගය වටා සියලු දෙනා එක් විය යුතු යැයි ද කීවේය.

මෙතෙක් කලක් රට පාලනය කර ඇත්තේ සංස්කෘතික හා චින්තනමය වශයෙන් පරාධීන නායකයන් යැයි සඳහන් කළ ඔහු ඔවුන් රට ගොඩනගනවා වෙනුවට තමන් සහ තමන් වටා ඇති පරපුර ගොඩනඟා ගැනීමට කටයුතු කර ඇතැයි ද පැවසීය.

විනාශ වූ රට ගොඩනැගීමේදී සෑම පුරවැසියා තුළම නව පිබිදීමක අවශ්‍යතාවය මතුව ඇති බවත් ඒ සඳහා රට ගොඩ ගැනීමේ ස්ථිර අධිෂ්ඨානයක් ඔවුන් සතුව තිබිය යුතු බවත් දිසානායක මහතා සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා 02 වැනිදා එම අදහස් පළ කළේ ‘රටට නොකියන විකිණීමේ ඇත්ත’ මැයෙන් එම පක්ෂය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත් වූ සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමිනි.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment