තරුණියක බලෙන් ගෙනියන්න ඇවිත් කොළඹ කෝටිපතියා අනුරාධපුරයේදී මැරුම්කයි

1359

මියගියේ පෙම්වතියගේ උපන් දිනයට කෝටි දෙකක සුපිරි රියක් දීම ගැන ප‍්‍රසිද්ධ වූ කෙනා

කෝටිපතියා කාත් කවුරුවත් නැති කාලේ හැදුනෙත් අපේ ගෙදර

කොළඹ සිට අනුරාධපුර ගල්කඩවලට පැමිණි කෝටිපති ව්‍යාපාරිකයකු විසින්, විසිඑක් හැවිරිදි අවිවාහක තරුණියක බලහත්කාරයෙන් රැුගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී, එම තරුණියගේ සහෝදරයා සිදු කළ පහර දීමකින් බරපතළ තුවාල ලැබූ එම ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ප‍්‍රහාරය එල්ල කළ තරුණයා ඇලයාපත්තුව පොලීසිය මගින් පෙරේදා (10 දා) රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ සිය පෙම්වතියගේ උපන් දිනය පැවති දිනයේ රුපියල් කෝටි දෙකක බෙන්ස් වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර්රථයක් ලබාදීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පසුගිය සමයේ ප‍්‍රසිද්ධියට පත්වූ නාවින්න හා කොළඹ පිහිටි ප‍්‍රසිද්ධ සැලූන් ආයතන දෙකක් පවත්වාගෙන ගිය මල්ලව ආරච්චිගේ පැතුම් (38) නැමත්තායි.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා 10දා සවස ඇලයාපත්තුව ගල්පොත්තේගම වෙහෙරගල විහාරස්ථානය හා ගල්පොත්තේගම වැවේ වාන ආසන්නයේදී කැති ප‍්‍රහාරයට ලක්වී බරපතළ තුවාල ලබා ඇලයාපත්තුව රජයේ රෝහලට රැුගෙන යමින් සිටියදි ජීවිතක්ෂයට පත්වී තිබුණි.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා කුඩා කල වසර කීපයක් ඇලයාපත්තුව ගල්කඩවල ගල්පොත්තේගම ප‍්‍රදේශයේ පිහිටි ඝාතනය සිදු කළ සැකකරුගේ නිවසේ හැදී වැඞී ඇති බවත් ඔහු දෙමාපියන්ගේ හව්හරණක් නොමැතිව ජීවත්වි පසුව ස්ව උත්සාහයෙන් කෝටිපතියකු වී ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා මීට සති කිහිපයකට ඉහතදි අදාළ ඝාතකයාගේ නැගණිය රැුකියාවක් සඳහා කොළඹට රැුගෙන ගොස් ඇති අතර ඇය කරදර අධික බව කියමින් නැවත නිවසට පැමිණ තිබේ. එසේ පැමිණි තරුණිය බලහත්කාරයෙන් නැවත කැඳවාගෙන යාම සඳහා ව්‍යාපාරිකයා උත්සාහ කළ අවස්ථාවේ ඊට ප‍්‍රකෝප වූ සහෝදරයා කැත්තෙන් කොටා ව්‍යාපාරිකයාට බරපතළ තුවාල සිදුකර තිබුණි.

ප‍්‍රහාරයට ලක්වූ තරුණයා නිවස ඉදිරිපිට පිහිටි වැට මතට ඇද වැටී ඇති අතර ඔහු සමග පැමිණි මිතුරන් ඔහු රැුගෙන පලාගොස් තිබූ බව පොලිසිය පවසයි. සැකකාර තරුණයාගේ මව කියා සිටියේ මීට වසර ගණනාවකට ඉහතදී මරණයට පත්වූ පැතුම් නැමත්තා සිය නිවසේ වාසය කළ බවයි. කාත්කවුරුවත් නොමැති ඔහුට සිය නිවසේදී හොඳින් සැලකු බවත් පසුව ඔහු කොළඹ ප‍්‍රදේශයට ගොස් ඇති බව දැන ගත් බවත් ඈ කීවාය. මීට සති කිහිපයකට ඉස්සෙල්ලා පැතුම් ඇවිල්ලා මගේ දුවට රස්සාවක් දෙන්න කියලා කොළඹ එක්කගෙන ගියා.

ඊට පස්සේ දුව ටික දවසකින් කිව්වා අම්මේ මෙහෙ හරිම කරදරයි මම පැනලා එනවා කියලා. එහෙම කියපු දුව නිවසට ආවා. පැතුම් 10දා සවස් කාලයේ අපේ නිවසට ආවා. දුවව බලහත්කාරයෙන් රැුගෙන යන්න උත්සාහ කළා. දුව නිවසේ කාමරයකට වෙලා දොර අගුළු දාගෙන හිටියේ.

ඇය කාමරයේ ඉඳන් කෑගහද්දි අයියා ආවා. ඒ අවස්ථාවේ මගේ පුතා හා ඔහු අතර බහින් බස්වීමක් සිද්ධ වුණා. පස්සේ තමයි මේ සිද්ධිය වුණේ යනුවෙන් ඇය පැවසුවාය. සිද්ධිය වූ ස්ථානයේ තිබී ප‍්‍රහාරයට යොදාගත් අඩි පහක් පමණ වන මිට සහිත කැත්තක් නඩු භාණ්ඩ වශයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

ස්ථානීය පරික්ෂණයට පැමිණි විනිසුරුවරයා මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා හමුවට යොමු කරන ලෙස ඇලයාපත්තුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

අත්අඩංගුවට ගෙන සිටින 35 හැවිරදි සැකකරු හා නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කර මරණ පරීක්ෂණ සාක්ෂි සඳහා සාක්ෂිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇලයාපත්තුව පොලිසියට විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස ්මත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ මහතාගේ මෙහෙයවීම මත ඇලයාපත්තුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

මිහින්තලේ – රංග චතූ, අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment